2. චිත්ත සම්භූත ජාතකය.
මේ ලෝකයෙහි මිනිසුන් මනාව පුරුදුකළාවූ කර්ම සියල්ල විපාක සහිතවේ. කුශලාකුශල කර්මයන් අතර කිසියම් හිස්වූ කර්මයක් නැත්තේය. ස්වකීයවූ කර්මයෙන් පුණ්ය විපාකයට පැමිණියාවූ මහත් ආනුභාව ඇති සම්භූත නම් රජවූ මම ඒවා දකිමි.
මෙලොව මිනිසුන් මනාව පුරුදුකළාවූ කර්ම සියල්ල ඵල සහිතවේ. කරණ ලද කුශලාකුශල කර්මයන්හි කිසියම් එක කර්මයකුත් හිස් නැත්තේය. යම්සේ මට සමෘද්ධවූයේද එපරිද්දෙන්ම කිමෙක්ද, ඒ මාගේ සහෝදරවූ චිත්තයාගේද සිත සමෘද්ධවූයේදැයි.
මේ ලෝකයෙහි මිනිසුන් මනාව පුරුදුකළාවූ කර්ම සියල්ල ඵල සහිතවේ. කුශලාකුශල කර්මයන් අතර කිසියම් හිස්වූ කර්මයක් නැත්තේය. දේවයන් වහන්ස, චිත්තයාද එසේම යයි දැනගනු මැනව. ඔබගේ සිත යම්සේ ද, ඔහුගේ සිත ද එසේ ම සමෘද්ධ විය.
පින්වත, කිම, චිත්ත නම් මම වෙමියි අනිකෙකු කෙරෙන් තොප අසන ලදද, නොහොත් චිත්තතෙම දක්නා ලදැයි තට කිසිවෙකුත් මේ කාරණය කීයේද, ගාථාව මනාකොට කියන ලදී. මට එහි සැකයක් නැත. තොපට ගම්වර සියයක්ද දෙමියි රජතෙම කීයේය.
මහරජ්ජුරුවෙනි, මම චිත්ත නම් වෙමියි අනිකෙකු කෙරෙන්ද මා නොඅසන ලදී. රජහුගේ ලඟට ගොස් මේ ගාථාව කියව, එකල්හි සතුටු සිත් ඇති රජතෙම තොපට වරයක්ද දෙන්නේයයි ඍෂිකෙනෙක් මට මේ කාරණය කීයේය.
විසිතුරු මැහුම් ඇති මනාකොට කරණලද රජුන්ට අයත් රථයක් ඒකාන්තයෙන් යොදත්වා. ඇතුන්ගේ පොරොද්ද බඳිව්. ග්රීවාභරණයන්ද බහාලව්.
මහබෙර මිහිඟුබෙර සක් යන මොවුන් නාද කෙරෙත්වා. වහා ගමන් කරන්නාවූ යානාවන්ද යොදත්වා. යම්තැනෙක්හි උපන්නාවූ ඍෂීහු දක්නෙම්ද, මම දැන්ම ඒ අසපුවට යන්නෙමියි රජතෙම කීයේය.
ඒකාන්තයෙන් මට මනාකොට ලබනලද ලාභයෙක් වූයේය. එකල මා විසින් පිරිස් මැද ගාථාව මනාකොට ගායනා කරණ ලදී. ඒ මම ශීලයෙන් හා ව්රතයෙන් යුක්තවූ ඍෂීන්වහන්සේ දැක ප්රීතියට පැමිණියෙමි. මම සතුටු සිත් ඇත්තේ වෙමියි රජතෙම කීයේය.
පින්වතුන් වහන්සේ අපගේ ආසනයද පා දෝනා පැන්ද පිළිගන්නාසේක්වා. පින්වතුන් වහන්සේ ආගන්තුග සත්කාර විචාරමි. පින්වතුන් වහන්සේ අපගේ ආගන්තුග සත්කාරය පිළිගන්නා සේක්වායි කීයේය.
ඔබට වාසයට සුදුසු සිත්කළුවූ ගෘහයක්ද කෙරෙත්වා ස්ත්රී සමූහයා හා පරිචරණය කෙරේවා. අපට අනුග්රහ පිණිස අවකාශ කරණු මැනව. අපි දෙදෙනම මේ රාජ්ය සම්පත්තිය අනුභව කරමුයි රජතෙම කීයේය.
මහරජ, දුශ්චරිතයාගේ මහත්වූ විපාකයද දැක නැවත මනාව පුරුදු කළාවූ සුචරිතයාගේ මහත්වූ විපාකයද දැක මෙසේ තමන්ම සංවරයට පැමිණියෙමි. පුත්ර සම්පත් හෝ ගව මහිෂාදී සම්පත් හෝ වස්තුසම්පත් හෝ නොපතන්නෙමියි.
මේ ලෝකයෙහි මිනිසුන්ගේ ජීවිතය වර්ෂයන් සම්බන්ධවූ මේ දශක දශයක්ම වෙත්. ඒ දශකයන් සම්බන්ධ සීමාවට නොපැමිණියහුම සිඳින ලද බට ගසක් මෙන් වියලෙයි.
එසේ වියලෙන්නාවූ ජීවිතයෙහි පස්කම් ගුණ නිසා කවර සතුටක්ද, කයින් කරන්නාවූ කවර ක්රීඩාවෙක්ද, සතුටු වීම් වශයෙන් කවර ඇලීමක්ද, කිනම් වස්තු සෙවීමක්ද, මහ රජ, පුත්රයන්ගෙන්ද, අඹුවන්ගෙන්ද මට කවර ප්රයෝජනයක්ද, මේ බන්ධනයෙන් මම මිදුනේ වෙමි.
ඒ මම හොඳාකාර දනිමි. මරුවා මට ප්රමාද නොවේ. මරුහට යටත්වූවහුගේ කවර ඇලීමක්ද, කිනම් වස්තු සෙවීමක්ද,
මහරජ මිනිසුන්ගේ නීච ජාතියවූ චණ්ඩාලයෝ නිය දෙපා ඇත්තවුන් අතරෙහි ලාමකවේ. පෙර අපි දෙදෙනම ඉතා ලාමකවූ ස්වකීය කර්මවලින් චණ්ඩාල මාතෘ ගර්භයෙහි වාසය කෙළෙමු.
අවන්ති ජනපදයන්හි අපි දෙදෙන චණ්ඩාලයෝ වීමු. ඉන් සැව නෙරඤ්ජරා ඉවුරෙහි මුවෝවීමු. එයින් චුතව නර්මදා නම් ගංඉවුරෙහි උකුස්සෝ දෙදෙනෙක් වීමු. එතැනින් අවුත් ඒ අපි අද බ්රාහ්මණ හා ක්ෂත්රියෝ වීමුයි.