13. හත්ථිපාල ජාතකය
337. “ශ්‍රේෂ්ඨ වර්ණ ඇති මහත්වූ ජටාවක් ඇති තවුස්පිරිකර දරන්නාවූ මැලියම් සහිත දත් ඇති රජසින් යුත් හිස ඇති බ්‍රාහ්මණයෙකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
338. “සුචරිත ධර්ම කොටස්හි ඇළුනාවූ කසට වත් හැන්දාවූ වැහැරි සිවුරක් පෙරවූ ඍෂිවරයෙකු ඒකාන්තයෙන් බොහෝ කලකින් දකිමි.
339. “පින්වත්තෙමේ අපගේ ආසනද ජලයද පය ගල්වන දේද, පිළිගනීවා මෙ ආසනාදී පිදිය යුතු දෑ පින්වත්හු විචාරමු. පිනවත්තෙමේ අපගේ මේ පිදිය යුතු දේ පිළිගැණීම කෙරේවායි (හත්ථිපාල කුමාරතෙම කීයේය.)
340. “පුත්‍රය, වේදයන් හදාරා වස්තුව සොයාගෙණ පුත්‍රයන් ගෘහයෙහි පිහිටුවා ගන්ධයන්ද රසයන්ද සියලු කම්සැප අනුභව කොට මහළු කල්හි වනයට යාම සුදුසුවේ. එසේවූ තපස්වීතෙම බුද්ධාදීන් විසින් පසස්නා ලද්දේයයි (පියවූ බ්‍රාහ්මණතෙම කීයේය.)
341. “වේදයෝ සත්‍ය නොවෙත් හෙවත් නිෂ්ඵලවෙත්. වස්තු ලාභයද නිෂ්ඵලවේ. පුත්‍රයන් ලැබීමෙන් ජරාව නොනසත්. ස්කන්ධයන්ගෙන්ද රසයන්ගෙන්ද සෙසු අරමුණු වලින්ද මිදීමම සත්පුරුෂයෝ කියත්. ස්වකීය කර්මයෙන්ම ඵලය ඉපදීම වේයයි කීයේය.
342. “ඒකාන්තයෙන්ම නුඹගේ මේ කීම සැබව, ස්වකීය කර්මයෙන්ම ඵලයාගේ නිෂ්පත්තිය වේ. ජරාවට ගියාවූද නුඹගේ මේ මව්පියෝ අවුරුදු සියයක් නීරෝගවූ තා දකින්නාහුයයි රජතෙම කීයේය.
343. “මහරජ, යමෙකුගේ මරණය හා මිත්‍ර ධර්මයක් වන්නේද, නරවීර ශ්‍රේෂ්ඨය, යමෙකුගේ ජරාව හා මිත්‍රකම වන්නේද, යමෙක් හෝ මම කිසිකලෙකත් නොමැරෙන්නෙමියි දන්නේද එබඳු වූවෙකු වර්ෂ සියයක් නීරෝගවූවහු දක්නාහුය.
344. “යම්සේ පුරුෂයෙක් ගඟ දියෙහි නැවක් ඉදින් කම්පා කෙරේනම් හෙවත් පැදගෙණ යා නම් ඉවුරට පැමිණේද, එපරිද්දෙන්ම ව්‍යාධියද ජරාවද නිරන්තරයෙන් සත්වයා මරුවාගේ වසඟයට පමුණුවත්යයි කුමාරතෙම කීයේය.
345. “කාමයෝ ඇලෙන හෙයින් පංක නම් මඩකට බඳු උපමා ඇත්තාහුද, කාමයෝ ගැලෙන හෙයින් පලිප නම් ගොහොරු මඩකට බඳු උපමා ඇත්තාහුද, සිත් හැරගන්නාහුද, එතෙර කළ නොහැක්කාහුද, මරුවාට යටත්වූවාහුද වෙත්. මෙබඳු කාම සංඛ්‍යාත ඇලෙන මඩෙහිද ගැලෙන මඩෙහිද ගැලුනාවූ ලාමක චිත්ත ස්වභාව ඇත්තේ පාර සංඛ්‍යාත නිවණට නොපැමිණිය හැක්කාහු වෙත්.
346. “මහරජ, මාගේ මේ ආත්ම භාවයතෙම පෙර අස්ගොව්වන් සමග රෞද්‍රකම් කෙළේය. ඒ මෙම එහි විපාක ගන්නා ලද්දෙමි. මට එයින් මිදීමෙක් නැත්තේය. දැන් කාය වාක් ද්වාරයන් අවුරාගෙණ එය ආරක්ෂා කරන්නෙමි. කවර හෙයකින්ද මාගේ මේ ආත්මයතෙම නැවත රෞද්‍රකම් නොකෙරේවායි.
347. “මහරජ යම්සේ පුරුෂයෙක්තෙම නැතිවූ ගවයෙකු නොදක්නේ වනයෙහි සොයාද, ඒ සුකාරී නම් රජ, මෙපරිද්දෙන් මාගේ ප්රව්රජ්ජ්යා සංඛ්‍යාත අර්ථයතෙම නැතිවූයේ වෙයි. මහරජ, ඒ මම අද කෙසේ එය නොසොයන්නෙම්දැයි කීයේය.
348. “මහරජ, අද කටයුතු දෙය හෙට යයි කල්දමන පුරුෂතෙම පිරිහේ. අනිද්දා යයිද පිරිහේ. යමක් නොපැමිණියේද, මෙය නැත්තේයයි දැන උපන්නාවූ කුසල් අදහස කවර නම් පණ්ඩිතයෙක් දුරු කරන්නේදැයි ගෝපාල කුමාරතෙම කීයේය.
349. “මහරජ, හාවභාව ලීලා විලාසයෙන් මත්වූවක් මෙන් හැසිරෙන්නාවූ දුනුකේ මල්පෙති බඳු ඇස් ඇත්තාවූ තරුණ කුමරියක් දකිමි. කාම සම්පත් අනුභව නොකළාවූ පළමු වයස්හි සිටියාවූ ඒ කුමරිය මෘත්‍යු මාරයා හැර ගෙණයේ.
350. “තරුණවූ මනාව හටගත්තාවූ ශෝභන මුඛයක් ඇත්තාවූ මනා දර්ශනයෙන් යුක්තවූ රන්වන් පැහැවූ තරුණ කොමොඩු කෙසරු මෙන් ගැවසීගත් රැවුල ඇත්තාවූ කුමාරයෙක්වේද, (ඔහුද මරුවා හැරගෙණ යේ) ඉන් පළමුවම ගෘහයද කාමයන්ද හැර පැවිදිවන්නෙමි. දේවයන් වහන්ස, මට අවසර දුන මැනවැයි අජපල් කුමාරතෙම කීයේය.
351. “අතුවලින් වෘක්ෂය යන නාමය ලබයි. පිරිහී ගිය අතු ඇත්ත වනාහි කණුවයයි කියත්. පින්වත් වාසෙට්ඨ ගොත්‍ර ඇති බැමිණිය පහව ගියාවූ පුත්‍රයන් ඇති මට දැන් පිඬු සිඟා යාමට හෙවත් පැවිදිවීමට සුදුසු කල් වේයයි පුරෝහිත බ්රාහ්මණතෙම් කීයේය.
352. “අහසෙහි නොගෑවෙමින් යන්නාවූ කොස්වා ලිහිණින් මෙන්ද වර්ෂා ඍතුහුගේ අවසානයෙහි අදිනලද දැල පලාගෙණ යන්නාවූ හංසයන් මෙන්ද මාගේ පුත්‍රයෝද ස්වාමියාද කාම සම්පත් නමැති දැල බිඳගෙණ යෙත්. ඒ මම කෙසේ නම් දරුවන් ගිය අනුව නොයන්නෙම් දැයි බැමිණි කීවාය.
353. “මේ ගිජුලිහිණි පක්ෂීහු මස් අනුභව කොටද වමාරාද බැහැර යෙත්. යම් කෙනෙකුන් අනුභව කොට නොවැමෑරුවාහුද, ඔව්හු මාගේ අතට පැමිණියාහුය.