14. අයොඝර ජාතකය
363. “සත්වතෙම පළමු යම් එක් රැයක් මාතෘ ගර්භයෙහි වාසය කෙරේද, හෙතෙම වලාකුලක් හටගත්තාක් මෙන්ම සයනය කෙරෙයි. හෙතෙම ගමන් කරන්නේ පෙරලා නොනවතියි.
364. “යුද්ධ කරණු ලබන්නාවූද බලයෙන් යුක්තවූද මනුෂ්‍යයෝ නොම නොදිරත්. නොම නොමියෙත්. ඒ සියල්ලම ජාති ජරාවන්ගෙන් උපද්‍රැතය. එහෙයින් මම ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිත උපදියි.
365. “ඉතා බිහිසුනු ස්වභාව ඇති සිව්රඟ සෙනග ගෙණ සමහර රජහු බළාත්කාර කම්කොට ජය ගනිත්. මරහුගේ සෙනඟ ජයගන්ට නොහැකිවෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
366. “ඇතුන් විසින්ද අසුන් විසින්ද රථවලින්ද පාබල සෙනඟින්ද පිරිවරණ ලද්දාවූ සමහරු සතුරන්ගෙන් මිදෙනු ලැබෙත්. ඔව්හු මරුවාගෙන් මිදෙන්ට නොහැකිවෙත්. ඒ කාරණයෙන් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
367. “ඇතුන්ගෙන්ද අසුන්ගෙන්ද රථවලින්ද පාබල සෙනඟින්ද යුක්තවූ ශූරවූ රජවරු පසමිතුරන්ගේ නුවරවල් බිඳිත්. පසමිතුරන් නසත්. මරහු නසන්ට නොහැකිවෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
368. “තුන් තැනෙක්හි බිඳී මද ගලන්නාවූ මත්ත හස්තීහු නගරයන් මඩිත්. ජනයා නසත්. මරහු මඩින්ට නොහැකි වෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
369. “ධෛර්‍ය්‍යවත්වූ කළ පුරුද්ද ඇත්තාවූද ඊතල දුර විදින්නාවූද ඉලක්කය නොවරදවා විදින්නාවූ ධනුර්ධරයෝ වෙත්. ඔව්හුද මරහු විදින්ට නොහැකිවෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
370. “පර්වත වනාන්තර සහිතවූ මහවීල් සතද ක්ෂයවී යෙත්. දීර්ඝ කාලයකින් ඒ සියල්ලම ක්ෂයවනු ලැබේ. ඒ සියල්ලම නස්නා කාලයට පැමිණ බිඳෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
371. “මෙසේම මනුෂ්‍යයන්ද ස්ත්‍රීන්ද යන සියලු සතුන්ගේ මෙලොව ජීවිතය චඤ්චලවේ. සුරාධූර්තයෙකුගේ වස්ත්‍රය මෙන්ද ගං ඉවුරෙහි හටගත් ගසක් මෙන්ද සත්වයන්ගේ ජීවිතය ස්ථිර නොවේ. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
372. “ළදරුවූද මහළුවූද ස්ත්‍රීහුද පුරුෂයෝද ඒ දෙපස අතරසිටි පුරුෂයෝද යන සත්වයෝ ගස්වල ගෙඩිමෙන් ශරීර භෙදයෙන් වැටෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
373. “මේ සත්වයන්ගේ වයස කළුවර පක්ෂයෙහි පිරිහී ශුක්ළ පක්ෂයෙහි වැඩෙන්නාවූ සඳ මෙන් නොවේ. යමක් ඉක්ම ගියේද, දැන් එය ගියේම වේ. ජරාවෙන් ජීර්ණවූවහුගේ වනාහි කාම ගුණයන්හි ඇල්මක් නැත්තේය. ඒ නිසා හට ගන්නා සැපයක් නම් කොයින්ද, එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
374. “යක්ෂයෝය, පංශු පිශාචකයෝය. තවද ප්‍රෙතයෝය යන ඔව්හු කිපියාහුද, මිනිසුන් ආශ්වාස කිරීමෙන් නසත්, හෙවත් මිනිසුන්ට වැහෙත්. මරහු ආශ්වාස කිරීම වශයෙන් නසන්ට නොහැකි වෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
375. “යක්ෂයන්ද පාංශු පිශාචයන්ද තවද ප්‍රෙතයන්ද යන කිපුනාවූද ඔවුන් බලිකර්ම වශයෙන් ක්ෂමා කිරීම හෙවත් සතුටුකිරීම කරත්. මරුවා සතුටු කිරීම නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
376. රාජාපරාධ කරන්නවුන්ද ජනයා පෙළන්නවුන්ද රාජ්‍යය දූෂ්‍ය කරන්නවුන්ද රජවරු දෝෂය දැන දඬුවම් කරත්. මරුහට දඬුවම් කරන්ට නොහැකිවෙත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
377. රාජාපරාධ කරන්නාවූද රාජ්‍යය දූෂ්‍ය කරන්නාවූද ජනයා පෙළන්නාවූද ඔව්හු රජුන් පහදවා ගැණීමට ලබත්. මරහුගේ පහදවාගැණීම නොකරත්. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.
378. “ක්ෂත්‍රියයෙක කියාද බ්‍රාහ්මණයෙක කියාද ආඪ්‍යයෝය කියාද බල ඇත්තේය කියාද තෙජස් ඇත්තේය කියාද මාත්‍යු රාජයාගේ අපේක්ෂාවක් නැත්තේය. එහෙයින් ධර්මයෙහි හැසිරෙමියි මට මේ සිතවේ.