12. පඤ්ච පණ්ඩිත ජාතකය
පණ්ඩිතවරු පස්දෙනෙක් රැස්ව සිටිති. මට ප්‍රශ්නයක් වැටහෙයි. එබස අසව්. නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය කාහට නම් එළිදරව් කරන්නේද?
භූමිපාලය, ඔබම අපට (එය) එළිදරව් කළ මැනව. ඔබ වනාහි අපගේ ස්වාමියාය, භාර උසුලන්නාහ. එය වදාළ මැනව. ජනින්දය, නුවණැත්තෝ ඔබගේ අදහස ද කැමැත්ත ද රුචිය ද විමසා බලා පසුව කියන්නාහුය.
යම් බිරිඳක් සිල්වත් ද, අන් පුරුෂයෙකු නොපතයි ද, හිමියාගේ කැමැත්ත අනුව පවතී ද, මනාප වූවා වේ ද, (පුරුෂයා) නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය (එබඳු) භාර්යාවට එළිදරව් කරන්නේය.
දුකට පත්වූවහුට ද ගිලන්වූවහුට ද යමෙක් පිහිට වේ ද, ගතිය වේ ද, පරායණය වේ ද, හෙතෙම නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය (එබඳු) මිතුරාට එළිදරව් කරන්නේය.
වැඩිමහල් හෝ මැදි හෝ බාල හෝ යම් සහෝදරයෙක් සිල්වත් වේ ද, සමාහිත වූයේ ද, ස්ථිර සිත් ඇත්තේ ද, හෙතෙම නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය (එබඳු) සහෝදරයාට එළිදරව් කරන්නේය.
යම් පුතෙක් පියාගේ හදවත දනී ද, පියා අනුව උපන්නේ ද, උතුම් ප්‍රඥා ඇත්තේ ද, හෙතෙම නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය (එබඳු) පුත්‍රයාට එළිදරව් කරන්නේය.
ජනින්ද ශ්‍රේෂ්ඨය, යම් මවක් ප්‍රිය වූ කැමැත්තෙන් තම පුතු පෝෂණය කරයි ද, දෙපාවුන්ට උතුම් වූ (ඒ පුරුෂයා) නින්දිත වූ හෝ ප්‍රශංසනීය වූ හෝ රහස් අර්ථය (එබඳු) මවට එළිදරව් කරන්නේය.
රහසට රහස් බවම යහපති. රහස එළිදරව් කිරීම ප්‍රශංසා කටයුතු නොවේ. නුවණැත්තා කාරණය සිදුවන තුරු (රහස) උසුලන්නේය. අර්ථය නිෂ්පන්න වූ කල්හි යම් සේ කැමති පරිදි පවසන්නේය.
රාජ ශ්‍රේෂ්ඨය, නරේන්ද්‍රය, ඔබ කුමකිනුයි විමන වූයේ (කලකිරුණේ) ද? අපි මේ වචනය අසමු. කුමක් සිතමින් දොම්නස් වූයේ ද? දේවයන් වහන්ස, ඒකාන්තයෙන් මාගේ වරදක් තිබේ ද?
නුවණැති මහෞෂධ මැරිය යුතු යයි බොහෝ නුවණැති (සෙනක ආදීහු) මට මැරීමට අණ කළහ. එය සිතමින් දොම්නස් වෙමි. දේවිය, නුඹගේ වරදක් නැත්තේය.
ඔබ ඊයේ සවස මෙහි පැමිණියේය. කුමක් අසා කුමක් සැක කෙරේ ද? බොහෝ නුවණැත්තිය, කවරෙක් ඔබට කුමක් කීයේ ද? වහා ඒ වචනය කියව. අපි අසමු.
නුවණැති මහෞෂධ මැරිය යුතු යයි ජනින්දය, ඔබ යම් රහස් දෝෂයක් මන්ත්‍රණය කළේ ද, රහසිගත ව භාර්යාවට කීවේය. ඒ රහස එළි විය. එය මවිසින් අසන ලදී.
සෙනක තෙම සාල වනයෙහි අශෝභන වූ යම් පාප කර්මයක් කළේ ද, රහසිගත ව මිතුරාට කීවේය. ඒ රහස එළි විය. එය මවිසින් අසන ලදී.
ජනින්දය, පුක්කුස පුරුෂයාට රජුන්ට නුසුදුසු වූ රෝගයක් උපන්නේය. හෙතෙම රහසිගත ව සොහොයුරාට කීවේය. ඒ රහස එළි විය. එය මවිසින් අසන ලදී.