1722. මම (ධාන්‍ය) නොමිලදී ගනිමි. නොද විකුණමි. මාගේ රැස්කිරීමෙක්ද නැත්තේය. මේ බත් පිඬ ඉතා දුකසේ ලබන ලද්දකි. මේ බත් හැළිය දෙදෙනෙකුට ප්‍රමාණවත් නොවේ.
1723. ස්වල්ප දෙයකින් ස්වල්පයක් දිය යුතුය. මධ්‍යම දෙයකින් මධ්‍යම ප්‍රමාණයක් දිය යුතුය. බොහෝ දෙයකින් බොහෝ කොට දිය යුතුය. නොදීම සුදුසු නොවේ.
1724. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
1725. ආගන්තුකයෙකු හුන් කල්හි යමෙක් තනිව බොජුන් වළඳාද, ඔහුගේ පූජාව හිස් වන්නේය. ඔහුගේ උත්සාහයද හිස් වන්නේය.
1726. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
1727. ආගන්තුකයෙකු හුන් කල්හි යමෙක් තනිව බොජුන් නොවළඳාද, ඔහුගේ පූජාව සත්‍ය වන්නේය. ඔහුගේ උත්සාහයද සත්‍ය වන්නේය.
1728. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
1729. පුරුෂතෙම සරස්වතී නදියෙහිද, බාහුක නදියෙහිද, ගයා තීර්ථයෙහිද, දොණ තීර්ථයෙහිද, තිම්බරු තීර්ථයෙහිද, වේගයෙන් ගලාබසින මහවැලි ගඟෙහිද පූජා පවත්වයි.
1730. එහිදීද ඔහුට එසේම වෙයි. එහිදීද ඔහුගේ උත්සාහය එසේම වෙයි. ආගන්තුකයෙකු හුන් කල්හි යමෙක් තනිව බොජුන් නොවළඳාද (හෙතෙම මහත් පල ලබයි).
1731. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
1732. ආගන්තුකයෙකු හුන් කල්හි යමෙක් තනිව බොජුන් වළඳාද, හෙතෙම දිගු නූලක් හා බැඳීම් සහිත බිලී කොක්කක් ගිල දමයි.
1733. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.
1734. මේ බ්‍රාහ්මණයෝ ඒකාන්තයෙන් උසස් වර්ණ ඇත්තාහ. ඔබගේ මේ බල්ලා කවර හේතුවකින් උස් පහත් විවිධ වර්ණ මවයිද? බ්‍රාහ්මණයෙනි, අපට කියව. තෙපි කවුරුද?