12. ද්වාදස නිපාතය
කුඩා සතුන් මෙන් ලඝු සිත් ඇති, කළගුණ නොදන්නා, ද්‍රෝහී ස්ත්‍රීන් කෙරෙහි දේවත්වයට පත් පුරුෂයෙක් වුවද විශ්වාසය නොකළ යුතුය.
ඔවුහු කළ දේ නොදනිති. කටයුත්තක් නොදනිති. මවද පියාද සොහොයුරාද නොදනිති. අනාර්‍ය්‍ය වූ ධර්ම සීමාව ඉක්මවා සිටින ඒ ස්ත්‍රීහු තමන්ගේ සිතට වසඟව යති.
දීර්ඝ කාලයක් අනුව හැසිරුණු ප්‍රියමනාප වූද, තමන්ට අනුකම්පා ඇත්තාවූද, ප්‍රාණය සමාන වූද ස්වාමියා රෝගාතුර වූ කල්හි හෝ විපතක් වූ කල්හි අත්හැර යති. එබැවින් මම ස්ත්‍රීන් විශ්වාස නොකරමි.
ස්ත්‍රීන්ගේ සිත වඳුරෙකුගේ මෙන් චපලය, ගස් සෙවණැල්ලක් මෙන් වෙනස් වෙයි. ස්ත්‍රීන්ගේ හදවත චලනය වන්නේය, රිය සකක් මෙන් පෙරළෙන්නේය.
යම් කලක පුරුෂයෙකු සතු ගතහැකි ධනයක් ඇති බව විමසා දකිත්ද, කාම්බෝජ දේශවාසීන් දියෙහි උපන් අශ්වයෙකු හීලෑ කරන්නාක් මෙන්, මෘදු වචනයෙන් ඔහු වසඟ කර ගනිති.
යම් කලක පුරුෂයෙකු සතු ගතහැකි ධනයක් ඇති බව විමසා නොදකිත්ද, ගඟින් එතෙර වූවෙක් පහුර අතහරින්නාක් මෙන් ඔහුව හාත්පසින්ම අතහරිති.
මැලියම් මෙන් ඇලෙන්නාවූ, ගින්න මෙන් සියල්ල දවන්නාවූ, සැඩ පහර ඇති ගඟක් මෙන් තියුණු මායා ඇත්තාවූ මේ ස්ත්‍රීහු, ඇතුන් මෙගොඩ හා එගොඩ යන දෙකම සෙව්නාක් මෙන්, ප්‍රියයාද අප්‍රියයාද සෙව්නය කරති.
ඒ ස්ත්‍රීහු එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් නොව, වෙළෙඳ සැලක් මෙන් කාටත් සාධාරණ වෙති. යමෙක් මොවුන් මගේ යැයි සිතා නම් හෙතෙම දැලකින් සුළඟ බඳින්නට තැත් කරන්නෙකු වැනිය.
ගඟද, මහමඟද, සුරා සැලද, සභාවද, පැන්ලීයද යම්සේ කාටත් සාධාරණ ද, ලෝකයේ ස්ත්‍රීහුද එසේමය. ඔවුන්ට සීමාවක් නැත.
මොවුහු ගින්න හා සමානයහ. කෘෂ්ණ සර්පයාගේ හිස වැනියහ. ගවයන් පිටත තණ බුදින්නාක් මෙන් උතුම් උතුම් පුරුෂයන් සොයා යති.
ගින්නද, ඇතින්නද, කෘෂ්ණ සර්පයාද, ඔටුනු පැළඳි රජුද, සියලු ස්ත්‍රීන්ද යන මොවුන් පිළිබඳව මිනිසා නිබඳවම ප්‍රවේශම් විය යුතුය. මොවුන්ගේ සැබෑ තත්වය දැනගැනීම දුෂ්කරය.
ඉතා රූමත් ස්ත්‍රියද, බොහෝ දෙනාට ප්‍රිය ස්ත්‍රියද, දක්ෂ ස්ත්‍රියද, අනුන්ගේ භාර්යාවද, ධනය නිසා පැමිණෙන ස්ත්‍රියද යන මේ ස්ත්‍රීන් පස් දෙනා සේවනය නොකළ යුතුය.
චූළකුණාලජාතකං පඨමං.
“අහසෙහි සිටියාවූ පිරිසිදු වස්ත්‍ර වලින් සැදුනාවූ තොප කවරෙක්ද, කුමකින් තොපගේ කඳුළු වැගිරෙද්ද, තොපට කොයින් බියක් පැමිණියේද,
“දේවයන් වහන්ස, ඔබවහන්සේගේම රාජ්‍යයෙහි වාසය කරන්නාවූ නුඹවහන්සේ විසින් පුදන ලද්දාවූ මට සැට දහසක් හව්රුදු ඉක්ම ගියහ. මා භද්දසාල යයි දන්නාහුය.
“ඒ පෞරාණික රජහු නගරයන්ද ගෘහයන්ද නොයෙක් ප්‍රාසාදයන්ද කරවන්නාහු මා නොඉක්මවූහ. ඔහු තුමූ යම්සේම මා පිදුවාහුද, එසේම නුඹ වහන්සේද පුදව,
“කඳින් මහත්වූ ඒ ප්‍රාසාදයට සුදුසු අනික් රුකක්ද මම නොදකිමි. තොපගේ වෘක්ෂය උසින් මහතින් යුක්තය. හට ගැණීමෙන්ද විශිෂ්ට රූ ඇත්තේ විය.
“සිත් කළුවූ එක්ටැම් ඇති පහයක් කරවන්නෙමි. තොප එහි පමුණුවන්නෙමි. එම්බා යක්ෂය, බොහෝකලක් තොපගේ ජීවත්වීම වන්නේය.
“මාගේ ශරීරයවූ භද්‍රශාල වෘක්ෂයෙන් වෙන්වීමවූ මරණයට හේතුවූ මේ කාරණය වනාහි ඔබ සිත පහළවීනම් මා බොහෝසෙයින් සිඳ කඩ කඩ කොට කපන්නහුය.