“ප්රාඥය, ඉතා කළුවූ භයානකවූ රශ්මීමත් දළ ඇති රැහැන් පසකින් බඳනාලද තොපගේ මේ බල්ලා කුමක් කෙරේද?
“උසීරථ නම් මහරජ, මේ ශුනඛතෙම මෘගයන් කෑමට ආයෙක් නොවන්නේය. මිනිසුන් විනාශ කරන්නෙක්ව ආයේය. යම් කලෙක මිනිසුන් විනාශ කෙරෙද්ද, එකල්හි මේ කළු බල්ලා මා අතින් මිදෙන්නේය.
“පාත්රයක් ගත් අත් ඇති හිසමුඩු කළාවූ සඟල සිව්රු පෙරවියාවූ ශ්රමණ ප්රතිරූපකයෝ වෙද්ද, ඔහු නගුල් වලින් සීසාන්නාහු වෙද්ද, (මොව්හු සතුරෝ වෙත්.) යම් කලෙක මොවුන් මරා මස් කන්ට ලබත්ද, එකල්හි මේ කළු බල්ලා මා අතින් මිදෙන්නේය.
“පැවිදිවූ හිස මුඩුකළාවූ සඟල සිව්රු පෙරෙව්වාවූ භික්ෂුණීහු වෙද්ද, යම් කලෙක්හි ලෝකයෙහි ගිහි පස්කම් සැප සේවනය කරමින් හැසිරෙන්නාහුද, ඒ දුශ්ශීල භික්ෂූණීහු මට සතුරුවූවාහුය. යම් කලෙක මොවුන් මරා කන්ට ලැබේද එකල්හි මේ කළු බල්ලා (මා අතින් මිදෙන්නේය.)
“වැඩුනාවූ උඩුරැවුල් ඇති ජටාධරවූ මළ බැඳුනු දත් ඇති රජසින් ගැවැසීගත් හිස් ඇති තාපසයෝ වෙද්ද, ඔව්හු භික්ෂු චර්ය්යාවෙන් ධනය රැස්කොට ණය පොලීකර දිවි පවත්වන්නාහුද, (ඒ දුශ්ශීල තවුසෝ මට සතුරුවෙත්.) යම් කලෙක මොවුන් මරාකන්ට ලැබේද (එකල්හි මේ කළු බල්ලා මිදෙන්නේය.”)
“යම් බ්රාහ්මණ කෙනෙක් සාවිත්තිනම් වේද ශාස්ත්රයද යාග විධායක තන්ත්රයද හදාරා බැල පිණිස යාග කරන්නාහුද, (ඒ පවිටු බමුණෝ මට සතුරුවෙත්) යම් කලෙක මොවුන් මරාකන්ට ලැබේද, එකල්හි මේ කළු බල්ලා මා අතින් මිදෙන්නේය.
“ජරාවෙන් ජීර්ණවූ ඉක්මගියාවූ යොවුන් වයස් ඇති මවද පියාද පොහොසත්වූවාහු යම් කෙනෙක් පොෂ්ය නොකෙරෙද්ද, (ඔව්හු මට සතුරුවෙත්.) යම් කලෙක මොවුන් මරාකන්ට ලැබේද (එකල්හි මේ කළු බල්ලා බැම්මෙන් මිදෙන්නේය.)
“ජරාවෙන් ජීර්ණවූ ඉක්මගියාවූ යොවුන් වයස් ඇති මව්පිය දෙදෙනාටද තෙපි අඥානයෝයයි යමෙක් කියන්නාහුද, (ඔව්හු මට සතුරුවෙත්) යම්කලෙක මොවුන් මරා කන්ට ලැබේද, එකල්හි මේ කළු බල්ලා මිදෙන්නේය.
“යම් කලෙක්හි ලෝකයෙහි ආචාර්ය්ය භාර්ය්යාවද යහළුවන්ගේ භාර්ය්යාවද මයිලනුවන්ගේ භාර්ය්යාවද නැන්දනියද යන මොවුන් කෙරෙහි (ලෝක ධර්ම වශයෙන් වරදවා) පිළිපදිද්ද, ඔව්හු මට සතුරුවෙත්. යම් කලෙක මොවුන් මරා කන්ට ලැබේද, එකල්හි මේ කළු බල්ලා මිදෙන්නේය.
“යම් බමුණු කෙනෙක් කඩුපලිහ ගෙණ කඩුවක් ඔසවාගෙණ මං පැහැරීම කරන්නාහුද, (ඔව්හු මට සතුරුවෙත්.) යම් කලෙක මොවුන් මරා මස් කන්ට ලැබේද එකල්හි මේ කළු බල්ලා මිදෙන්නේය.
“කසා සුණු ආදිය ගෑමෙන් මෘදුවූ ඡවිවර්ණ ඇති ධන ධාන්යාදීන් සමෘද්ධ වැන්දඹුවන් හා සමග හැසිරෙන්නාවූ මහත්වූ බාහු ඇති ධන ඉපදවීමෙන් තොරවූ ස්ත්රී ධූර්තයෝ යම් කලෙක ඔවුන් හා මිත්රභෙදය කෙරෙද්ද, ඔව්හු මට සතුරුවෙත්. යම් කලෙක මොවුන් මරා කන්ට ලැබේද, එකල්හි කළු බල්ලා මිදෙන්නේය.
“ලොව මුළාකරණ මායා ඇත්තාවූ වඤ්චනිකවූ අසත් පුරුෂ සිතිවිලි සිතන්නාවූ දුර්ජනයෝ යම් කලෙක්හි ලෝකයෙහි වන්නාහුද, ඔව්හු මට සතුරුවෙත්. (යම් කලෙක මොවුන් මරාකන්ට ලැබේද) එකල්හි මේ කළු බල්ලා මේ පස් රැහැන් බැම්මෙන් මිදෙන්නේයයි කීයේය.”
මහාකණ්හජාතකං ඡට්ඨං.
1722. මම (ධාන්ය) නොමිලදී ගනිමි. නොද විකුණමි. මාගේ රැස්කිරීමෙක්ද නැත්තේය. මේ බත් පිඬ ඉතා දුකසේ ලබන ලද්දකි. මේ බත් හැළිය දෙදෙනෙකුට ප්රමාණවත් නොවේ.
1723. ස්වල්ප දෙයකින් ස්වල්පයක් දිය යුතුය. මධ්යම දෙයකින් මධ්යම ප්රමාණයක් දිය යුතුය. බොහෝ දෙයකින් බොහෝ කොට දිය යුතුය. නොදීම සුදුසු නොවේ.
1724. කොසිය, එබැවින් ඔබට කියමි. දන් දෙව. අනුභවද කරව. ආර්ය මාර්ගයට නැගෙව. තනිව අනුභව කරන්නා සැප නොලබයි.