3. 3. 9.
9. ධාතු සංසන්දන සූත්රය
78. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, සත්වයෝ අදහස් ස්වභාවයෙන් සත්වයන් සමග එකතුවෙත්, පැමිණෙත්. ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙත් සමබවට පැමිණෙත්. යහපත් අදහස් ඇති සත්වයෝ මනා අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙත්, සමානව පැමිණෙත්.
මහණෙනි, යටගිය දවසෙහිද සත්වයෝ සත්වයන් සමග ධාතුවශයෙන් අදහස් වශයෙන් සැසැඳුනාහ. එක්වූහ, හීන අදහස් ඇති සත්වයෝ හීන අදහස් ඇති සත්වයන් සමග සැසැඳුනාහුය. එක්වූවාහුය. කලණ අදහස් ඇති සත්වයෝ කලණ අදහස් ඇති සත්වයන් සමග සැසැඳුනාහුය එක්වූවාහුය.
මහණෙනි, අනාගතකාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ සත්වයන් සමග සැසැඳෙන්නාහුය, එක්වන්නාහුය, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙන්නාහ, එක්වන්නාහ, හොඳ අදහස් ඇති සත්වයෝ හොඳ අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙන්නාහුය.
මහණෙනි, වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් සත්වයන් සමග සැසැඳෙති, එක්වෙති, ලාමක අදහස් ඇති සත්වයෝ ලාමක අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙති, එක්වෙති, සොඳුරු අදහස් ඇති සත්වයෝ සොඳුරු අදහස් ඇති සත්වයන් සමග සැසැඳෙති, එක්වෙති.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “එක්ව යෙදීමෙන් තෘෂ්ණා ස්නෙහයෙන් කෙලෙස් වනයක් හටගත්තේද, එක්ව නොසිටීමෙන් නොඇලීමෙන් විනාශ වෙයි. යම්සේ කුඩා ලීයෙන් කළ පසුරකට නැග මහමුහුදේ ගිලෙන්නේද,
3. එපරිද්දෙන්ම පිරිසිදු දිවි පැවැත්ම ඇති සත්පුරුෂතෙමේද අලසවූ පුද්ගලයා නිසා ගිලෙයි, එහෙයින් අලසවූ වීර්යය කිරීමෙන් තොරවූ ඒ පුද්ගලයා දුරු කරන්නේය.
4. විවේකය ඇත්තාවූ පිරිසිදුවූ නිවන් පිණිස යවන ලද සිත් ඇත්තාවූ ධ්යාන කරන සුලුවූ නිතර පටන්ගන්නා ලද වීර්යය ඇති පණ්ඩිතයන් සමග වසන්නේය.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 10.
10. සෙඛ පරිහානි සූත්රය
79. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු තුනක් පවතිත්. කවර තුනක්ද, මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්ෂ භික්ෂුතෙමේ කර්මාන්තයෙහි ඇලීම ඇත්තේවේද, කර්මාන්තයෙහි ඇලුනේවේද, කර්මාන්තයෙහි ඇල්මෙහි යෙදුනේවේද, කථාවෙහි ඇලීම ඇත්තේවේද, කථාවෙහි ඇලුනේ වේද, කථාවේ ඇල්මෙහි යෙදුනේවේද, නිතර නිදීමෙන් ඇලීම ඇත්තේවේද, නිදීමෙහි ඇලුනේවේද, නිදීමේ ඇල්මෙහි යෙදුනේවේද, මහණෙනි, මේ ධර්ම තුන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ තුන්ධර්මයෝ ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්, කවර තුන් ධර්මයෝද යත්, මහණෙනි, මේ සස්නෙහි ශෛක්ෂ භික්ෂු තෙමේ කර්මාන්තයෙහි ඇලීම නැත්තේවේද කර්මාන්තයෙහි නොඇලුනේවේද, කර්මාන්තයේ ඇල්මෙහි නොයෙදුනේවේද, කථාවෙහි නොඇලීම ඇත්තේවේද, කථාවෙහි නොඇලුනේවේද, කථාවෙහි ඇලුනුබැව්හි නොයෙදුනේ වේද, නිද්රාවෙහි ඇල්ම නැත්තේවේද, නිද්රාවෙහි නොඇලුනේවේද, නිදීමේ ඇලුනු බවෙහි නොයෙදුනේවේද, මහණෙනි, මේ තුන්ධර්මයෝ ශෛක්ෂ භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “කර්මාන්තයෙහි ඇලීම ඇත්තාවූද කථාවෙහි ඇලුනාවූද නිදීමෙහි ඇලීම ඇත්තාවූද නොසන්සුන්වූ එබඳු මහණ තෙමේ උතුම්වූ සම්බෝධිය ලබන්නට යොග්ය නොවේ.
3. එහෙයින්ම මහණතෙමේ ස්වල්ප කෘත්යය ඇත්තෙක්ද ස්වල්ප නිද්රාව ඇත්තෙක්ද සන්සිඳුනු සිත් ඇත්තෙක්ද වන්නේය, එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධිය ලබන්නට සුදුසු වේ.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වන වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
දිට්ඨි සූත්ර දෙක ද නිස්සරණිය ද රූප ද පුත්ත ද අවුට්ඨික ද සුඛ ද භිදුර ද ධාතු ද පරිහාන ද යන මේ සූත්ර දසය යි.