3. 3. 10.
10. සෙඛ පරිහානි සූත්රය
79. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස මේ කරුණු තුනක් පවතිත්. කවර තුනක්ද, මහණෙනි, මේ ශාසනයෙහි ශෛක්ෂ භික්ෂුතෙමේ කර්මාන්තයෙහි ඇලීම ඇත්තේවේද, කර්මාන්තයෙහි ඇලුනේවේද, කර්මාන්තයෙහි ඇල්මෙහි යෙදුනේවේද, කථාවෙහි ඇලීම ඇත්තේවේද, කථාවෙහි ඇලුනේ වේද, කථාවේ ඇල්මෙහි යෙදුනේවේද, නිතර නිදීමෙන් ඇලීම ඇත්තේවේද, නිදීමෙහි ඇලුනේවේද, නිදීමේ ඇල්මෙහි යෙදුනේවේද, මහණෙනි, මේ ධර්ම තුන වනාහි ශෛක්ෂ භික්ෂුවගේ පිරිහීම පිණිස පවතිත්.
මහණෙනි, මේ තුන්ධර්මයෝ ශෛක්ෂ භික්ෂුවගේ නොපිරිහීම පිණිස පවතිත්, කවර තුන් ධර්මයෝද යත්, මහණෙනි, මේ සස්නෙහි ශෛක්ෂ භික්ෂු තෙමේ කර්මාන්තයෙහි ඇලීම නැත්තේවේද කර්මාන්තයෙහි නොඇලුනේවේද, කර්මාන්තයේ ඇල්මෙහි නොයෙදුනේවේද, කථාවෙහි නොඇලීම ඇත්තේවේද, කථාවෙහි නොඇලුනේවේද, කථාවෙහි ඇලුනුබැව්හි නොයෙදුනේ වේද, නිද්රාවෙහි ඇල්ම නැත්තේවේද, නිද්රාවෙහි නොඇලුනේවේද, නිදීමේ ඇලුනු බවෙහි නොයෙදුනේවේද, මහණෙනි, මේ තුන්ධර්මයෝ ශෛක්ෂ භික්ෂුහුගේ නොපිරිහීම පිණිස පවතිත්යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “කර්මාන්තයෙහි ඇලීම ඇත්තාවූද කථාවෙහි ඇලුනාවූද නිදීමෙහි ඇලීම ඇත්තාවූද නොසන්සුන්වූ එබඳු මහණ තෙමේ උතුම්වූ සම්බෝධිය ලබන්නට යොග්ය නොවේ.
3. එහෙයින්ම මහණතෙමේ ස්වල්ප කෘත්යය ඇත්තෙක්ද ස්වල්ප නිද්රාව ඇත්තෙක්ද සන්සිඳුනු සිත් ඇත්තෙක්ද වන්නේය, එබඳු මහණ තෙමේ උතුම් සම්බෝධිය ලබන්නට සුදුසු වේ.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
තුන්වන වර්ගය නිමි.
එහි සූත්ර නාමාවලිය:
දිට්ඨි සූත්ර දෙක ද නිස්සරණිය ද රූප ද පුත්ත ද අවුට්ඨික ද සුඛ ද භිදුර ද ධාතු ද පරිහාන ද යන මේ සූත්ර දසය යි.
4. විතක්ක වර්ගය
3. 4. 1.
1. අකුසල විතක්ක සූත්රය
80. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, මේ තුන් අකුශල විතර්ක කෙනෙක් (මිථ්යා කල්පනාවෝ) වෙත්. කවර තුන් විතර්කයෝද යත්? පිරිහෙලා නොබණින බව කැමැති බැවින් යුක්තවූ හෝ ඒ අරභයා පැවැති විතර්කය, ලැබීමය සත්කාරය කීර්තිය යනමොවුන් පිළිබඳ විතර්කය, අනුන් කෙරෙහි අනුකම්පා බව බඳු කාමයෙහි ඇළුන ප්රෙමය පිළිබඳවූ විතර්කය යන තුනය. මහණෙනි, මේ වනාහි තුන් අකුශල විතර්කයෝ වෙතියි.
භාග්යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “අන්යයෝ අවමන් නොකරන්නේ නම් මැනවයි පැවැති කැමැති කල්පනාවෙන් යුක්තවූ පුද්ගල තෙමේද, ලාභසත්කාරයෙහි ගෞරවය ඇති පුද්ගල තෙමේද ඇමතියන් සමග සතුටුවනසුලු පුද්ගල තෙමේද, සංයෝජනයන්ගේ ක්ෂයකිරීමෙන් දුරෙහි වේ.
3. “යමෙක් වනාහි දරුවන් හා සිවුපාවුන්ද විවාහයන්ද පිරිකර (බඩුද) හැරපියා (පැවිදිවීද,) එබඳු ඒ මහණතෙමේ උතුම් අර්හත්මාර්ගඥානය ලබන්නට සුදුසුවේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
3. 4. 2.
2. සත්කාරාභිභූත සූත්රය
81. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේය. අර්හතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේයයි මා විසින් අසනලදී.
1. මහණෙනි, සත්කාරයෙන් මඩනාලද්දාවූ හාත්පස අල්වා ගන්නාලද්දාවූ සිත් ඇති යටපත් කරනලද්දාවූ ක්ෂයයට පමුණුවනලද සිත් ඇත්තාවූ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිළිසරණවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහ. මහණෙනි, යටපත් කරනලද්දාවූ හාත්පස අල්වාගන්නා ලද සිත් ඇති සත්වයෝ කයබිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි සත්කාරයෙන්ද අසත්කාරයෙන්ද ඒ සත්කාර අසත්කාර දෙකින්ද, මැඩුනාවූ අල්වාගන්නාලද සිත් ඇති සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරු සේ වැටෙන්නාවූ නිරයයෙහි උපන්නෝ මා විසින් දක්නා ලද්දාහුය.