3. දිට්ඨ වර්ගය
3. 3. 1.
1. දිට්ඨ දුග්ගති සූත්රය
70. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මා විසින් කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්ත වූද මනො දුශ්චරිතයෙන් යුක්තවූද ආක්රොශ කළාවූද මිථ්යාදෘෂ්ටි ඇත්තාවූද වරදවා දක්නාවූද මිථ්යා දර්ශන හේතුවෙන් සමාදන් වන ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණයෙන් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.
මහණෙනි, මේ කරුණ මා අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි.
මහණෙනි, මා විසින් කයින් දුශ්චරිත කිරීමෙන් යුක්තවූද වචනයෙන් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් දුශ්චරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද කළාවූද, මිථ්යාදෘෂ්ටියෙන් යුක්තවූද, මිථ්යාදෘෂ්ටීන් ගන්නා ලද නොඑක් කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.
එහෙත් මහණෙනි, යමක්ම තමා විසින් දන්නාලද්දේද තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්රකට කොට දන්නා ලද්දේද, එයම මම කියමි.
තවද මහණෙනි, කාය දුශ්චරිතයෙන් යුක්තවූද වාග් දුශ්චරිතයෙන් යුක්තවූද, මනො දුශ්චරිතයෙන් යුක්ත වූද, ආර්යයන්ට ගර්හාකළාවූද, විපරීත දර්ශනයෙන් යුක්තවූද මිථ්යාදෘෂ්ටි කර්මයන් සමාදාන කොට ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. මහණෙනි, ඒ සත්වයෝ කය බිඳීමෙන් මරණින් මත්තෙහි සැපයෙන් තොරවූ දුකට පිහිටවූ නපුරුසේ වැටෙන්නාවූ නරකයෙහි උපන්නාහුය.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක, එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි පුද්ගලතෙමේ සිත වරදවා පිහිටුවා මිථ්යා වචන කියා කයින් වැරදි කර්මයන් කොට මෙහි වසන්නේ ද,
3. මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි අසූතවත් වූ පව් කරන්නාවූ ඒ නුවණ නැති පුද්ගල තෙමේ කය බිඳීමෙන් පසු නරකයට උත්පත්ති වශයෙන් පැමිණේ.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 2. 2.
2. දිට්ඨ සුගති සූත්රය
71. මේ සූත්රය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, කයින් පින් කිරීමෙන් යුක්තවූද, වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද, ආර්යයන්ට උපවාද නොකළාවූද, සම්යග් දෘෂ්ටියෙන් යුක්ත වූද මනා දර්ශනය හේතුකොට ගන්නා ලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නා ලද්දාහුය. ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මතු මනා ගති ඇත්තාවූ සුවයෙන් අග්රවූ දෙව්ලොවට පැමිණියාහුය.
ඒ ප්රකාශය වූකලි අන් මහණෙකුගේ වේවයි බමුණෙකුගේ වේවයි තෙපුල් අසා නොම කියමි.
මහණෙනි, මා විසින් කාය සුචරිතයෙන් යුක්තවූද වාග්සුචරිතයෙන් යුක්ත වූද මනො සුචරිතයෙන් යුක්තවූද ආර්යයනට උපවාද නොකළාවූද, සම්යක් දෘෂ්ටි ඇත්තාවූද, සම්යක් දර්ශනයෙන් මනාකොට ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ දක්නා ලද්දාහුය, ඒ සත්වයෝ කය බිඳීමෙන් පසු ශෝභනගති ඇත්තාවූ සැපයෙන් අග්රවූ දිව්යලෝකයට පැමිණියාහ.
එහෙත් මහණෙනි, යමක් තමා විසින්ම දන්නා ලද්දේද, තමා විසින් දක්නා ලද්දේද, තමා විසින් ප්රකටව දන්නා ලද්දේද, මම එයම කියමි.
මහණෙනි, කයින් සුසිරි කිරීමෙන් යුක්තවූද වචනයෙන් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තද සිතින් සුචරිතයෙහි හැසිරීමෙන් යුක්තවූද ආර්යයනට ගර්හා නොකළාවූද සම්යග්දෘෂ්ටි ඇත්තාවූද, සම්යක් දෘෂ්ටි හේතුවෙන් මනාව ගන්නාලද කර්මයන් ඇත්තාවූද සත්වයෝ මා විසින් දක්නාලද්දාහුය, ඒ සත්වයෝ ශරීරය බිඳීයාමෙන් මරණින් මත්තෙහි සුන්දරගති ඇත්තාවූ සැපයෙන් අග්රවූ දෙව්ලොවට පැමිණියාහුය.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “මේ ලෝකයෙහි යම් පුද්ගලයෙක් සිත මනාව පිහිටුවා වචනයෙන් මුසාවාදාදිය නොකියා මනාව පිහිටුවා කයින් මනා කර්මාන්තයන් කොට මෙහි වසන්නේ ද,
3. මේ මිනිස් ලොව ස්වල්ප ජීවිතය ඇතිකල්හි බහුශ්රැතවූ පින්කළාවූ සප්රාඥවූ ඒ පුද්ගලතෙමේ ශරීරයාගේ බිඳීමෙන් මැරීමෙන් ස්වර්ගයට පැමිණේ.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.