3. 3. 6.
6. අවුට්ඨිකසම සූත්‍රය
75. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මේ සත්ව ලෝකයෙහි තුන් පුද්ගල කෙනෙක් ඇත්තාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන් පුද්ගලයෝද යත්? නොවසින මේඝය සමාන පුද්ගලයාය, එක් ප්‍රදෙශයකට වසින මේඝය සමාන පුද්ගලයාය, සියලු තන්හි වස්නා මේඝය සමාන පුද්ගලයාය.
මහණෙනි, නොවස්නා මේඝය වැනි පුද්ගල තෙම කෙසේ වේද? මහණෙනි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්තෙම මහණ බමුණෝය, දුගී මගීහුය යන මොවුන්ට ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානාව, මල්ය, සුවඳය විලවුන්ය ඇඳ පුටු පලස් ආදී හෝනාදෑය ගෙවල්ය පහන්ය, යන කිසිවක් නොදෙන්නේ වේද මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙම නොවස්නා මේඝය බඳු වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ එක් දේශයකට වස්නා මේඝය වැනි වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ අහරද පාන වර්ගද වස්ත්‍රද යානාවද මල් ගඳ විලවුන්ද සයනාසන ගෘහ පහන් උපකරණද ශ්‍රමණ බ්‍රාහ්මණ දිළින්දෝය, මග යන දුප්පතුන්ය, පුලන්නෝය, සිඟන්නෝය යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්ට දෙන්නේ වෙයි. ඇතැම් කෙනෙකුන්ට නොදෙන්නේ වෙයි, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙමේ එක් දේශයකට වස්නා මේඝය බඳු වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ හැමතන්හි වස්නා මේඝය බඳු වේද? මහණෙනි, මහණ බමුණන්ටද දුගී මගීන්ටද ගුණවණා ඉල්ලන්නවුන්ටද සිඟන්නන්ටද යන සියල්ලන්ටම ආහාරද පාන ජාතිද වස්ත්‍රද යානාවද මල් ගඳ විලවුන්ද සයනාසනද ආවාසය පහන් යන මෙයද දෙන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙමේ සියලු තන්හි වස්නා මේඝය බඳු වේ. මහණෙනි, මේ තුන්පුද්ගලයෝ වනාහි මේ ලෝකයෙහි ඇත්තාහුය විද්‍යමාන වන්නාහුයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “යමෙක් අහරද පාන වර්ගද භොජන වර්ගද ලැබ ශ්‍රමණයනට නොදේද, බ්‍රාහ්මණයනටත් නොදේද, දුගී මගී යදියනටත් නොදේද, තමාගේ කොටසින් බෙදාදීමකුත් නොකෙරේද, ඒකාන්තයෙන් එබඳු තද මසුරුවූ ඒ නිහීනවූ පුරුෂයා නොවස්නා මේඝය බඳුයයි පණ්ඩිතයෝ කියත්.
3. යමෙක් සමහරුන්ට නොදේද, සමහරුන්ට දේද, ඒකාන්තයෙන් ඔහු එක් ප්‍රදෙශයකට වස්නා මේඝය බඳු යයි නුවණැති දනෝ කියති.
4. ඒ පුද්ගලතෙම සියලු සත්නට අනුකම්පාව කරන්නේ තුටුපහටු සිත් ඇත්තේ වපුරන්නාක් මෙන් කෙරේද, දෙවු දෙවුයයි කියාද,
5. යම්සේ වනාහී මේඝය ශබ්ද කොට ගුගුරා වස්නේද දියෙන් ගොඩද වළද ගලමින් පුරාද,
6. එපරිද්දෙන්ම මේ සත්ව ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් මහා මේඝය වැනි වේ. තමාගේ උට්ඨාන වීර්යයෙන් ලබන ලද යම් ධනය වේද, දැහැමින් රැස්කොට උපන් ආහාර පානයෙන් මනාව පැමිණියාවූ යාචකයන් පිනවයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 7.
7. සුඛපත්ථනා සූත්‍රය
76. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මේ තුන් සුව නිමිති කැමැතිවන්නාවූ පණ්ඩිත තෙමේ සිල්රක්නේය, කවර තුනක්දයත්? පණ්ඩිතතෙමේ ‘මට පැසසීම පැමිණේවා’යි සිල්රක්නේය, ‘මට භොගයෝ සම්පත් උපදිත්වා’යි පණ්ඩිතතෙම සිල්රක්නේය, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සොඳුරුගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදීවා’යි පණ්ඩිත තෙමේ සිල් රක්නේය, මහණෙනි, මේ සුවකරුණු තුන වනාහි පතමින් පණ්ඩිතතෙම සිල්රක්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “ප්‍රශංසාවද ධනය ලැබීමද පරලොව ස්වර්ගයෙහි සතුටුවීමද යන තුන් සුවපතමින් ප්‍රාඥතෙම සිල් රක්නේය.
3. ඉදින් යමෙක් පව් නොකරන්නේද පව් කරන්නෙකු සේවනය කෙරේද, පවෙහි සැක කටයුත්තෙක් වන්නේය, ඒ පුද්ගලයාගේ අවර්ණයද පැතිරෙයි.