3. 3. 7.
7. සුඛපත්ථනා සූත්‍රය
76. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මේ තුන් සුව නිමිති කැමැතිවන්නාවූ පණ්ඩිත තෙමේ සිල්රක්නේය, කවර තුනක්දයත්? පණ්ඩිතතෙමේ ‘මට පැසසීම පැමිණේවා’යි සිල්රක්නේය, ‘මට භොගයෝ සම්පත් උපදිත්වා’යි පණ්ඩිතතෙම සිල්රක්නේය, ශරීරයාගේ බිඳීමෙන් මරණින් මත්තෙහි සොඳුරුගති ඇත්තාවූ සැපයෙන් අග්‍රවූ දෙව්ලොව උපදීවා’යි පණ්ඩිත තෙමේ සිල් රක්නේය, මහණෙනි, මේ සුවකරුණු තුන වනාහි පතමින් පණ්ඩිතතෙම සිල්රක්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “ප්‍රශංසාවද ධනය ලැබීමද පරලොව ස්වර්ගයෙහි සතුටුවීමද යන තුන් සුවපතමින් ප්‍රාඥතෙම සිල් රක්නේය.
3. ඉදින් යමෙක් පව් නොකරන්නේද පව් කරන්නෙකු සේවනය කෙරේද, පවෙහි සැක කටයුත්තෙක් වන්නේය, ඒ පුද්ගලයාගේ අවර්ණයද පැතිරෙයි.
4. යමෙක් යම්බඳුවූ මිතුරෙකු ආශ්‍රය කෙරේද, යම්බඳු පුද්ගලයකු සේවනය කෙරේද, ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් එබන්දෙක්වෙයි, යම්හෙයකින් එක්ව විසීමවේද, හෙතෙමේද එබන්දෙක්වෙයි.
5. සෙවනය කරනු ලබන්නා සෙවනය කරන්නා ස්පර්ශ කරන්නේ, යම්සේ විස පොවනලද ඊය විෂ නොපොවන ලද්දාවූද ඊ සමූහයෙහි තිබුනේ ඊ සියල්ලෙහිම විෂ තැවරේද, එමෙන් තැවරෙන බියෙන් පණ්ඩිත පුරුෂතෙමේ පවිටු යහළුවන් ඇත්තෙක් නොවන්නේය.
6. යම් මිනිසෙක් පිළිකුල් බැවින් කුණුමස් කුස තණ අගින් බඳීද, කුසතණද කුණු ගඳම හමද්ද, බාල ජනයන් සේවනය කිරීම එබඳුමවේ.
7. යම් පුරුෂයෙක් තෙමේ තුවරළා නමැති සුවඳ අන්‍යවූ කොළයක් හා බඳීද, සුවඳ නැති පත්‍රයෝද තුවරළා නමැති සුවඳ හා සම්බන්ධයෙන් සුවඳ හමද්ද, නුවණැත්තන්ගේ සේවනයද එබඳුම වේ.
8. එහෙයින් කොළයේ සුවඳ හා දුගඳමෙන් තමහට වන විපාකය දැන පණ්ඩිතතෙම අසත්පුරුෂයන් සේවනය නොකරන්නේය. සත්පුරුෂයන් සේවනය කරන්නේය, අසත්පුරුෂයෝ නිරයට යෙත්, සත්පුරුෂයෝ සුගතියට පමුණුවත්.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 8.
8. භිදුරකාය සූත්‍රය
77. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මේ රූප කය බිඳෙන සුලුය, විඥානය නැසෙන ස්වභාවය ඇත්තේය, සියලු සසර ඉපදීමට හේතුවන දේ අනිත්‍යයහ, දුක්වෙති, පෙරලෙන ස්වභාවය ඇත්තෝවෙත්යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “රූප කයද බිඳෙන සුලුයයිද විඤ්ඤාණය නැසෙන ස්වභාවය ඇත්තේයයි දැන උපධීන්හි බියදැක ජරාමරණය ඉක්මවූ වැඩුණු රහත්තෙමේ උතුම්වූ නිර්වාණය අවබෝධකොට කාලය කැමතිවේ.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.