3. 3. 5.
5. පුත්තත්තය සූත්‍රය
74. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, ලෝකයෙහි මේ පුත්‍රයෝ තුන්දෙනෙක් ලැබෙන්නාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන්දෙනෙක්ද යත්? තමාගේ ගුණයෙන් මවුපියන් ඉක්මවා උපන්නාවූ අතිජාත පුත්‍රයාය, ගුණයෙන් මවුපියනට අනුරූපව උපන්නාවූ අනුජාත පුත්‍රයාය, මව්පියනට වඩා හීනගුණ ඇති අවජාත පුත්‍රයාය.
මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අධික ගුණ ඇත්තේ වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුතාගේ මවුපියෝ බුදුන් සරණ නොගියාහු වෙද්ද, දහම් සරණ නොගියාහු වෙද්ද, සඟ සරණ නොගියාහු වෙද්ද, ප්‍රාණඝාතයෙන් නොවැළකුණාහු වෙද්ද, හිමියන් විසින් නුදුන් දැය ගැණීමෙන් නොවැළකුණාහුද වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් නොවැළකුණාහු වෙද්ද, බොරුකීමෙන් නොවැළකුණාහු වෙද්ද, මදප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් නොවැළකුණාහු වෙද්ද, සිල් නැත්තාහු වෙද්ද, ලාමක ස්වභාවය ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුතා වනාහි බුදුන්සරණ ගියේ වේද, දහම් සරණ ගියේ වේද, සඟ සරණ ගියේ වේද, ප්‍රාණඝාතයෙන් වෙන්වූයේ වේද, හොරකම් කිරීමෙන් වෙන්වූයේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වෙන්වූයේ වේද, මුසාවාදයෙන් වෙන්වූයේ වේද, මත්වීමට හා ප්‍රමාදයට හේතුවූ රහමෙරපීමෙන් වෙන්වූයේ වේද, සිල්වත්වේද, යහපත් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි මෙසේ වනාහී පුත්‍රතෙමේ අතිජාත වේ.
මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අනුජාත වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියෝවෙද්ද, දහම් සරණ ගියෝවෙද්ද, සඟ සරණ ගියෝවෙද්ද, සත්වඝාතනයෙන් වැළකුණෝ වෙද්ද, සොරකම් කිරීමෙන් වැළකුණෝ වෙද්ද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණෝ වෙද්ද, බොරුකීමෙන් වැළකුණෝ වෙද්ද, මත්වීමට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පීමෙන් වැළකුණේ වෙද්ද, සිල් ඇත්තෝ වෙද්ද, කලණ දහම් ඇත්තෝ වෙද්ද, ඔවුන්ගේ පුත් තෙමේද බුදුන්සරණ ගියේ වේද, ධර්මය සරණ ගියේ වේද, සංඝයා සරණ ගියේ වේද, සතුන් මැරීමෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාම මිථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මත්වීමටද ප්‍රමාදයටද හේතු සුරාමෙරය පානයෙන් වැළකුණේ වේද, සිල්වත් වේද කුසල් දහම් ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍රතෙමේ අනුජාතයෙක් වේ.
මහණෙනි, කෙසේ වනාහි පුත්‍රතෙමේ අවජාත වේද? මහණෙනි, මේ ලෝකයෙහි පුත්‍රයාගේ මවුපියෝ බුදුන් සරණ ගියාහු වෙද්ද, ධර්මය සරණ ගියාහු වෙද්ද සංඝයා සරණ ගියාහු වෙද්ද, ප්‍රාණ වධයෙන් වැළකුණාහු වෙද්ද, අදත්තාදානයෙන් වැළකුණාහු වෙද්ද, කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකුණාහු වෙද්ද, බොරුබස් බිණුමෙන් වැළකුණාහු වෙද්ද, මත්වීමට හා සිහියෙන් වෙන්වීමට හේතුවූ රහමෙර පීමෙන් වැළකුණාහුවෙද්ද, සිල්වත්වූවාහු වෙද්ද, යහපත් ස්වභාවය ඇත්තාහු වෙද්ද, ඔවුන්ගේ පුත්‍රතෙමේ වනාහි බුදුරුවන් සරණ නොගියේ වේද, දහම්රුවන් සරණ නොගියේ වේද, සඟුරුවන් සරණ නොගියේ වේද, ප්‍රාණඝාතයන් නොවැළකුණේවේද හොරකම් කිරීමෙන් නොවැළකුණේ වේද, කාමමිථ්‍යාචාරයෙන් නොවැළකුණේ වේද, මුසාවාදයෙන් නොවැළකුණේවේද, මත්වීමට කරුණුවූ රහමෙර බීමෙන් නොවැළකුණේ වේද, දුශ්ශීල වේද, පව් ස්වභාවය ඇත්තේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුත්‍ර තෙමේ අවජාත වේ. මහණෙනි, මේ පුත්‍රයෝ තුන්දෙන වනාහි ලෝකයෙහි ඇත්තාහුය, විද්‍යමාන වන්නාහුය.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ:
2. “පණ්ඩිතයෝ අතිජාත පුත්‍රයාද අනුජාත පුත්‍රයාද කැමැති වෙත්, යමෙක් කුලය නසන්නේ වේද, එබඳු අවජාත පුත්‍රයා නොකැමැති වෙති.
3. ලෝකයෙහි මේ තුන්දෙනම පුත්‍රයෝ වෙති, යම් පුත්‍ර කෙනෙක් උපාසකයෝ වෙද්ද, ශ්‍රද්ධාව ඇත්තාහු වෙද්ද, සිල්වත් වූවාහු වෙද්ද, වචන දන්නාහු වෙද්ද, අදහස් දන්නාහු වෙද්ද, පහවූ මසුරු මල ඇත්තාහු වෙද්ද වලාකුළෙන් හා වැසිවලාකුළෙන් මිදුනු සඳසේ පිරිසෙහි බබළත්.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. මෙසේ මා විසින් අසන ලදී.
3. 3. 6.
6. අවුට්ඨිකසම සූත්‍රය
75. මේ සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. රහතුන් වහන්සේ වදාළ බව මා විසින් අසන ලදී:
1. “මහණෙනි, මේ සත්ව ලෝකයෙහි තුන් පුද්ගල කෙනෙක් ඇත්තාහුය, විද්‍යමාන වන්නාහුය, කවර තුන් පුද්ගලයෝද යත්? නොවසින මේඝය සමාන පුද්ගලයාය, එක් ප්‍රදෙශයකට වසින මේඝය සමාන පුද්ගලයාය, සියලු තන්හි වස්නා මේඝය සමාන පුද්ගලයාය.
මහණෙනි, නොවස්නා මේඝය වැනි පුද්ගල තෙම කෙසේ වේද? මහණෙනි. මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක්තෙම මහණ බමුණෝය, දුගී මගීහුය යන මොවුන්ට ආහාරය, පානවර්ගය, වස්ත්‍රය, යානාව, මල්ය, සුවඳය විලවුන්ය ඇඳ පුටු පලස් ආදී හෝනාදෑය ගෙවල්ය පහන්ය, යන කිසිවක් නොදෙන්නේ වේද මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙම නොවස්නා මේඝය බඳු වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ එක් දේශයකට වස්නා මේඝය වැනි වේද? මහණෙනි, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් තෙමේ අහරද පාන වර්ගද වස්ත්‍රද යානාවද මල් ගඳ විලවුන්ද සයනාසන ගෘහ පහන් උපකරණද ශ්‍රමණ බ්‍රාහ්මණ දිළින්දෝය, මග යන දුප්පතුන්ය, පුලන්නෝය, සිඟන්නෝය යන මොවුන් අතුරෙන් ඇතැම් කෙනෙකුන්ට දෙන්නේ වෙයි. ඇතැම් කෙනෙකුන්ට නොදෙන්නේ වෙයි, මහණෙනි, මෙසේ වනාහි පුද්ගල තෙමේ එක් දේශයකට වස්නා මේඝය බඳු වේ.
මහණෙනි, කෙසේ නම් පුද්ගලතෙමේ හැමතන්හි වස්නා මේඝය බඳු වේද? මහණෙනි, මහණ බමුණන්ටද දුගී මගීන්ටද ගුණවණා ඉල්ලන්නවුන්ටද සිඟන්නන්ටද යන සියල්ලන්ටම ආහාරද පාන ජාතිද වස්ත්‍රද යානාවද මල් ගඳ විලවුන්ද සයනාසනද ආවාසය පහන් යන මෙයද දෙන්නේ වේද, මහණෙනි, මෙසේ වනාහි පුද්ගලතෙමේ සියලු තන්හි වස්නා මේඝය බඳු වේ. මහණෙනි, මේ තුන්පුද්ගලයෝ වනාහි මේ ලෝකයෙහි ඇත්තාහුය විද්‍යමාන වන්නාහුයයි.”