2. 1. 8.
8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය
35. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ජනයා විස්මය පත් කරවනු පිණිස ජනයා ලවා කියවනු පිණිස “මෙසේ ජනයා මා හඳුනාවා”යි සිව්පස ලැබීමය ආදර බුහුමන් ගරු කිරීමයයි කියනලද සත්කාරය උස්වනැංගාවූ කීර්ති ඝොෂය පැසසීමය යන අනුසස් පිණිස මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යයෙහි නොහැසිරෙන්නේය. “මහණෙනි, කුහනාදියෙන් අන්‍ය ප්රයෝජනයවූම සංවරය පිණිසද ක්ලෙශ ප්‍රහානය පිණිස බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “ඒ භාග්‍යවතුන් වහන්සේ උවදුරු නසන්නාවූ සැකනැත්තාවූ ආර්ය මාර්ගයට පමුණුවන්නාවූ පහකරනු පිණිසද දෙසූසේක.
3. “මහත් අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය අනුව යන ලද්දේය. බුදුරජුන් දෙසනලද පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගයට පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය කරන්නාවූ (ඔහු) සියලු සංසාර දුඃඛය කෙළවර කරන්නාහුය. (නිවන ප්රත්යක්ෂ) කරන්නාහුයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 9.
9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. “මහණෙනි, ජනයා පුදුම කරවනු පිණිස ජනයාලවා කියවනු පිණිස “මෙසේ ජනතෙම මා දනීවා”යි ලාභය සත්කාරය කීර්ති ප්‍රශංසාය යන අනුසස් පිණිස මේ බඹසර නොවසන්නේය, මහණෙනි, කුහනාදියෙන් අන්‍යවූම දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද මේ බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “ප්රසිද්ධවූ භාග්‍යවතුන් වහන්සේ උවදුරු හෝ උප ක්ලෙශයන් නසන්නාවූ ආර්ය මාර්ගයට හෝ නිවනට පමුණුවන්නාවූ (මේ) බඹසර විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද දෙසූසේක.
3. මහ අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය පිළිපදින ලද්දේය. බුදුරජුන් විසින් දෙසූ පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගය පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය කරන්නාවූ (ඔහුතුමූ) දුක් කෙළවර කරන්නාහුය යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 10.
10. සුඛසොමනස්ස බහුල සූත්‍රය
37. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
1. මහණෙනි, කරුණු දෙකකින් යුත් මහණ තෙමේ මේ ආත්මයෙහිම (කායික චෛතසික) සුව සොම්නස් බහුල කොට ඇත්තෙක්ව වෙසෙයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස කාරණය පටන් ගන්නා ලද්දේ වෙයි. කවර දෙකකින් ද යත්: සංවේගය ඉපදවිය යුතු කරුණුවල සංවේගය ඉපදවීමෙන් ද, සංවේගයට පත් වූවහුගේ නිසි ක්‍රමයෙන් කරන වීර්යයෙන් (සම්‍යක් ව්‍යායාමයෙන්) ද යන දෙකෙනි. මහණෙනි, මේ ධර්ම දෙකින් යුත් මහණ තෙමේ මේ ආත්මයෙහිම සුව සොම්නස් බහුල කොට ඇත්තෙක්ව වෙසෙයි. ඔහු විසින් ආශ්‍රවයන් ක්ෂය කිරීම පිණිස කාරණය පටන් ගන්නා ලද්දේ වෙයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
2. “කෙලෙස් තවන වීර්ය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ පණ්ඩිතතෙම ප්‍රඥාවෙන් මනාව දැක
3. “මෙසේ වසන්නාවූ කෙලෙස් තවනවීර්ය ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තාවූ චෙතොසමථයයි කියන ලද ආර්ය මාර්ගයෙහි යෙදුනු මහණතෙම දුඃඛ ක්ෂය සංඛ්‍යාත අර්හත් ඵලයට හෝ නිවනට පැමිණෙන්නේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
පඨමො වග්ගො නිට්ඨිතො.
එහි උද්දානය:
භික්ෂු සූත්‍ර දෙක ද, තපනීය අතපනීය දෙක ද, ඊළඟට ඇති සූත්‍ර දෙක ද, අනාතාපී සූත්‍රය ද, කුහන සූත්‍ර දෙක ද, සොමනස්ස සූත්‍රය සමඟ මේ දසයයි.