2. 1. 9.
9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
36. “මහණෙනි, ජනයා පුදුම කරවනු පිණිස ජනයාලවා කියවනු පිණිස “මෙසේ ජනතෙම මා දනීවා”යි ලාභය සත්කාරය කීර්ති ප්‍රශංසාය යන අනුසස් පිණිස මේ බඹසර නොවසන්නේය, මහණෙනි, කුහනාදියෙන් අන්‍යවූම දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද මේ බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ප්‍රසිද්ධවූ භාග්‍යවතුන් වහන්සේ උවදුරු හෝ උප ක්ලෙශයන් නසන්නාවූ ආර්ය මාර්ගයට හෝ නිවනට පමුණුවන්නාවූ (මේ) බඹසර විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද දෙසූසේක.
මහ අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය පිළිපදින ලද්දේය. බුදුරජුන් විසින් දෙසූ පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගය පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය කරන්නාවූ (ඔහුතුමූ) දුක් කෙළවර කරන්නාහුය යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 10.
10. සුඛසොමනස්ස බහුල සූත්‍රය
37. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
37. “මහණෙනි, කරුණු දෙකකින්යුත් මහණතෙම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඔහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂයකිරීම (අර්හත්ඵලය) පිණිස කාරණය පිහිටුවන ලද්දීවේ. කවර ධර්ම දෙකකින්දයත්, සංවෙග ඉපදවියයුතුවූ කරුණු අටෙහි සංවෙග ඉපදවීමෙන්ද උපන් සංවෙග ඇත්තහුගේ උපාය ප්‍රධානයෙන්ද (යන දෙකෙනි.) “මහණෙනි, මේ ධර්ම දෙකින්යුත් මහණතෙම මේ ආත්මයෙහිම සුවසොම්නස් බහුලකොට ඇත්තෙක්ව වෙසෙයි, ඒ මහණහු විසින් ආශ්‍රවයන්ගේ ක්ෂය කිරීම (රහත්බව) පිණිස කාරණයද සම්පූර්ණ කරන ලද්දීවේ (සපයන ලද්දීවේ) යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“කෙලෙස් තවන වීර්ය ඇත්තාවූ ස්ථානොචිත ප්‍රඥාව ඇත්තාවූ පණ්ඩිතතෙම ප්‍රඥාවෙන් මනාව දැක
“මෙසේ වසන්නාවූ කෙලෙස් තවනවීර්ය ඇත්තාවූ සන්සුන් පැවතුම් ඇත්තාවූ චෙතොසමථයයි කියන ලද ආර්ය මාර්ගයෙහි යෙදුනු මහණතෙම දුඃඛ ක්ෂය සංඛ්‍යාත අර්හත් ඵලයට හෝ නිවනට පැමිණෙන්නේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
පඨමො වග්ගො නිට්ඨිතො.
එහි උද්දානය:
භික්ෂු සූත්‍ර දෙක ද, තපනීය අතපනීය දෙක ද, ඊළඟට ඇති සූත්‍ර දෙක ද, අනාතාපී සූත්‍රය ද, කුහන සූත්‍ර දෙක ද, සොමනස්ස සූත්‍රය සමඟ මේ දසයයි.