2. 1. 5.
5. පාපක සීල සූත්රය
32. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
32. “මහණෙනි, ධර්ම දෙකකින් යුක්තවූ පුද්ගලතෙම ගෙනඑනලද (බරක්) බිම බහා තබනලද්දේ යම්සේද, එපරිද්දෙන් නිරයයෙහි වේ. කවර කරුණු දෙකකින්ද, ලාමකවූ ශීලයෙන්ද ලාමකවූ (මිථ්යා) දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) මහණෙනි, මේ කරුණු දෙකින් වනාහි සමන්විතවූ පුද්ගලයා යම්සේ ගෙනඑනලද (බරක්බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් නිරයයෙහි වේයයි.
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් සත්වයෙක් තෙමේ ලාමක ශීලයෙන්ද ලාමක දෘෂ්ටියෙන්ද (යන) කරුණු දෙකින් යුක්ත වූයේවේද, දුෂ්ප්රාඥ වූ සත්ව තෙමේ කය බිඳීමෙන් නරකයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 6.
6. භද්දක සීල සූත්රය
33. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
33. “මහණෙනි, ධර්ම දෙකකින් යුක්ත වූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් ස්වර්ගයෙහිවේ. කවර දෙකකින්දයත්, යහපත් ශීලයෙන්ද යහපත්වූ දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද එපරිද්දෙන් ස්වර්ගයෙහි (තබන ලද්දේ) වේ යයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සොඳුරු ශීලයෙන්ද මනාදෘෂ්ටියෙන් යන මේ ධර්ම දෙකින් යම් සත්වයෙක් යුක්තවූයේවේද, ඒ පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (මරණින්මතු) ස්වර්ගයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 7.
7. අනාතාපී සූත්රය
34. භාග්යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
34. “මහණෙනි, කුසීතවූ පාපයට භය නැත්තාවූ මහණතෙමේ ආර්ය මාර්ගය පිණිස සුදුස්සෙක් නොවේ. නිවන පිණිස සුදුස්සෙක් නොවේ. නිරුත්තරවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ අර්හත්ඵලය ලැබීමට සුදුස්සෙක් නොවේ. “මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ (පාපයට) භය ඇත්තාවූ මහණ තෙමේ වනාහි ආර්ය මාර්ගය පිණිස සුදුසුවේ. නිර්වානය පිණිස සුදුසුවේ. ශ්රේෂ්ඨවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ රහත්බව ලැබීමට සුදුසුවේයයි.”
මේ අර්ථය භාග්යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් මහණෙක්තෙම කෙලෙස් තවනවීර්ය නැත්තේවේද, පවට බිය නැත්තේවේද, කුසීතවේද, ගිලිහුණේවේද, හීනවූවීර්ය ඇත්තේවේද, (සිතේ අලස බවවූ) ථීනයද (කයේ අලස බවවූ) මිද්ධයද බහුල කොට ඇත්තේවේද, වැඩට නොයෙදෙන බව බහුලකොට ඇත්තේවේද, පව්කිරීමෙහි ලජ්ජා නැත්තේවේද, ආදර නැත්තේවේද, එබඳු මහණතෙම උතුම්වූ රහත්බවට පැමිණෙන්නට නුසුදුස්සෙක් වේ.
“යමෙක් තෙමේ වනාහි සිහි ඇත්තේවේද, සිහි නුවණින් හා කමටහන් පරිහරණය කරන මුහුකුරා ගිය නුවණින්ද යුක්තවූයේවේද, ධ්යාන කරන සුලුවේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේවේද, පාපයට භය ඇත්තේවේද, අප්රමාදයෙන් යුක්තවේද, ජාතිය හා ජරාව සමගද දසසංයෝජනය මේ අත්බවෙහිම සිඳ නිරුත්තරවූ අර්හත්ඵලයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.