2. 1. 6.
6. භද්දක සීල සූත්‍රය
33. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
33. “මහණෙනි, ධර්ම දෙකකින් යුක්ත වූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද, එපරිද්දෙන් ස්වර්ගයෙහිවේ. කවර දෙකකින්දයත්, යහපත් ශීලයෙන්ද යහපත්වූ දෘෂ්ටියෙන්ද (යන දෙකිනි.) “මහණෙනි, මේ කරුණු දෙකින් යුක්තවූයේ යම්සේ ගෙනඑනලද (බරක් බිම) බහාතබන ලද්දේවේද එපරිද්දෙන් ස්වර්ගයෙහි (තබන ලද්දේ) වේ යයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“සොඳුරු ශීලයෙන්ද මනාදෘෂ්ටියෙන් යන මේ ධර්ම දෙකින් යම් සත්වයෙක් යුක්තවූයේවේද, ඒ පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (මරණින්මතු) ස්වර්ගයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 7.
7. අනාතාපී සූත්‍රය
34. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
34. “මහණෙනි, කුසීතවූ පාපයට භය නැත්තාවූ මහණතෙමේ ආර්ය මාර්ගය පිණිස සුදුස්සෙක් නොවේ. නිවන පිණිස සුදුස්සෙක් නොවේ. නිරුත්තරවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ අර්හත්ඵලය ලැබීමට සුදුස්සෙක් නොවේ. “මහණෙනි, කෙලෙස් තවන වීර්යය ඇත්තාවූ (පාපයට) භය ඇත්තාවූ මහණ තෙමේ වනාහි ආර්ය මාර්ගය පිණිස සුදුසුවේ. නිර්වානය පිණිස සුදුසුවේ. ශ්‍රේෂ්ඨවූ (සතර) යොගයන්ගෙන් නිර්භයවූ රහත්බව ලැබීමට සුදුසුවේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් මහණෙක්තෙම කෙලෙස් තවනවීර්ය නැත්තේවේද, පවට බිය නැත්තේවේද, කුසීතවේද, ගිලිහුණේවේද, හීනවූවීර්ය ඇත්තේවේද, (සිතේ අලස බවවූ) ථීනයද (කයේ අලස බවවූ) මිද්ධයද බහුල කොට ඇත්තේවේද, වැඩට නොයෙදෙන බව බහුලකොට ඇත්තේවේද, පව්කිරීමෙහි ලජ්ජා නැත්තේවේද, ආදර නැත්තේවේද, එබඳු මහණතෙම උතුම්වූ රහත්බවට පැමිණෙන්නට නුසුදුස්සෙක් වේ.
“යමෙක් තෙමේ වනාහි සිහි ඇත්තේවේද, සිහි නුවණින් හා කමටහන් පරිහරණය කරන මුහුකුරා ගිය නුවණින්ද යුක්තවූයේවේද, ධ්‍යාන කරන සුලුවේද, කෙලෙස් තවන වීර්ය ඇත්තේවේද, පාපයට භය ඇත්තේවේද, අප්‍රමාදයෙන් යුක්තවේද, ජාතිය හා ජරාව සමගද දසසංයෝජනය මේ අත්බවෙහිම සිඳ නිරුත්තරවූ අර්හත්ඵලයට පැමිණේයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 8.
8. ජනකුහන බ්‍රහ්මචරිය සූත්‍රය
35. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
35. “මහණෙනි, ජනයා විස්මය පත් කරවනු පිණිස ජනයා ලවා කියවනු පිණිස “මෙසේ ජනයා මා හඳුනාවා”යි සිව්පස ලැබීමය ආදර බුහුමන් ගරු කිරීමයයි කියනලද සත්කාරය උස්වනැංගාවූ කීර්ති ඝොෂය පැසසීමය යන අනුසස් පිණිස මේ ශාසන මාර්ග බ්‍රහ්මචර්යයෙහි නොහැසිරෙන්නේය. “මහණෙනි, කුහනාදියෙන් අන්‍ය ප්‍රයෝජනයවූම සංවරය පිණිසද ක්ලෙශ ප්‍රහානය පිණිස බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ඒ භාග්‍යවතුන් වහන්සේ උවදුරු නසන්නාවූ සැකනැත්තාවූ ආර්ය මාර්ගයට පමුණුවන්නාවූ පහකරනු පිණිසද දෙසූසේක.
“මහත් අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය අනුව යන ලද්දේය. බුදුරජුන් දෙසනලද පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගයට පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අනුශාසනය කරන්නාවූ (ඔහු) සියලු සංසාර දුඃඛය කෙළවර කරන්නාහුය. (නිවන ප්‍රත්‍යක්ෂ) කරන්නාහුයයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
2. 1. 9.
9. අභිඤ්ඤත්ථ බ්‍රහ්මචරිය සූත්‍රය
36. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය වදාරන ලදී. රහතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.
36. “මහණෙනි, ජනයා පුදුම කරවනු පිණිස ජනයාලවා කියවනු පිණිස “මෙසේ ජනතෙම මා දනීවා”යි ලාභය සත්කාරය කීර්ති ප්‍රශංසාය යන අනුසස් පිණිස මේ බඹසර නොවසන්නේය, මහණෙනි, කුහනාදියෙන් අන්‍යවූම දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද මේ බඹසර වසන්නේයයි.”
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“ප්‍රසිද්ධවූ භාග්‍යවතුන් වහන්සේ උවදුරු හෝ උප ක්ලෙශයන් නසන්නාවූ ආර්ය මාර්ගයට හෝ නිවනට පමුණුවන්නාවූ (මේ) බඹසර විශිෂ්ට ඥානයෙන් දැනීම පිණිසද පිරිසිඳ දැනීම පිණිසද දෙසූසේක.
මහ අදහස් ඇත්තාවූ මහර්ෂීන් විසින් මේ මාර්ගය පිළිපදින ලද්දේය. බුදුරජුන් විසින් දෙසූ පරිද්දෙන් යම් යම් කෙනෙක් මේ මාර්ගය පිළිපදිද්ද, ශාස්තෘන් වහන්සේගේ අවවාදය කරන්නාවූ (ඔහුතුමූ) දුක් කෙළවර කරන්නාහුය යයි.”
මේ අර්ථයද භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. මෙසේ මා විසින් අසන ලදී.