7. අනොමදස්සී බුදුරදුන්ගේ වංශය
1. සොභිත බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අපමණ පිරිවර ඇති, තේජස් ඇති, යටහත් කළ නොහැකි, “අනොමදස්සී” නම් සම්බුදුරජතෙම වී.
2. උන්වහන්සේ සියලු සංයෝජනයන් සිඳ, (කාම - රූප - අරූප යන) තුන් භවයන් නසා, දෙවි මිනිසුන්ට පැවැත්මට විරුද්ධවූ මග දෙසූ සේක.
3. උන්වහන්සේ සාගරය මෙන් නොකැළඹිය හැක්කේය. අහස මෙන් කෙළවරක් නැත්තේය. (මහාමේරු) පර්‍වතය මෙන් නොළංවිය හැක්කේය. දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ, අසූ අනූ ව්‍යඤජන ආදියෙන් මල් පිපුණු සල්ගසක් මෙන් බබලයි.
4. සත්ත්‍වයෝ ඒ බුදුරදුන් දැකීමෙන්ද පිණාගියාහු වෙත්. ඒ සත්ත්‍වයෝ දහම් දෙසන බුදුරදුන්ගේ වචන අසා නිවනට පැමිණෙත්.
5. ඒ කාලයෙහි උන්වහන්සේගේ ධර්‍මාවබෝධය සමෘද්‍ධවූයේ, වැඩුනේද වී. පළමුවන දම් දෙසුමෙහිදී කෝටි සියයක් (සත්ත්‍වයෝ) ධර්‍මාවබෝධය කළහ.
6. ඉන් පසුද ධර්‍මාවබෝධයවන දහම් වැසි වස්නා දෙවන දම් දෙසුමෙහිදී, අසූ කෝටියක් දෙනා ධර්‍මාවබෝධය කළහ.
7. ඉන්මතුත් දහම් වැසි වස්නා කල්හිද (එයින්) ජනයන්ට සංග්‍රහ කරණ කල්හිද, සැත්තෑ අට කෝටියක් සත්ත්‍වයන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
8. මහර්ෂීවූ ඒ අනෝමදස්සී සම්බුදුරදුන්ට ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි අරහන්ත ඵල විමුක්තියෙන් රැස්වීම් තුණක් වූහ.
9. ඒ කාලයෙහි තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, මද හා මෝහ පහකළ අටලක්‍ෂයක් පමණ රහතුන්ගේ (පළමු) රැස්වීම වී.
10. කෙලෙස් අඞ්ගන රහිත, කෙලෙස් දූලී නැති කළ, සන්හුන් සිත් ඇති, තාදී ගුණයෙන් යුත්, සත්ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ දෙවන රැස්වීම වී.
11. කෙලෙස් තැවූ, රාගාදී ගිනි නිවීම කළ, ෂට් අභිඥාවන්ගෙන් බලයට පැමිණි, හය ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ තුන්වන රැස්වීම වී.
12. මම ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, නොයෙක් කෝටි ගණන් යක්‍ෂයන් වසඟ කිරීමෙහි දක්‍ෂ යක් සෙනෙවියෙක් වීමි.
13. ඒ කාලයෙහිද මහාර්ෂීවූ ඒ උතුම් බුදුරදුන් වෙත එළඹ සඟුන් සහිත ලෝනාහිමියන්ට ආහාර පාණයෙන් සංග්‍රහ කෙළෙමි.
14. ඒ කාලයෙහි පිරිසිදු ඇස් ඇති ඒ (අනෝමදස්සී) මුනිඳුද, මෙතෙම (යක් සෙනෙවි) මෙයින් අපමණ කපෙහි (අසංඛ්‍ය කල්පයෙහි) බුදුවන්නේයයි මා (ගැණ) ප්‍රකාශයක් කළ සේක.
15. තථාගතයන් වහන්සේ රම්‍ය වූ කිඹුල්වත් පුරයෙන් නික්ම, ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට,
16. අජපාල නුග රුක මුල හිඳගෙන, එහි දී කිරිපිඬු දානය පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
17. නේරඤ්ජරා ගං තෙර හි දී කිරිපිඬු වළඳා ඒ ජිනරාජ තෙමේ සරසන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
18. ඉක්බිති අනුත්තර වූ මහා යසස් ඇති මුනිඳු බෝධි මණ්ඩලය පැදකුණු කොට ඇසතු ගසක් මුල දී බුදුවන්නේය.
19. මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
20. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
21. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.