බුද්ධවංස පාළි
නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස
රතනචඞ්කමන කාණ්ඩය
1. ලෝකයට අධිපතිවූ සහම්පතී නම් බ්රහ්මතෙමේද වඳින ලද්දේ මේ ලෝකයෙහි (නුවණ නමැති) ඇසෙහි (රාගාදී) ස්වල්ප කෙලෙස් රජස් ඇති සත්ත්වයෝ ඇත්තාහ. මේ ප්රජාවට අනුකම්පාකොට දහම් දෙසනු මැනවයි අනුත්තරවූ බුදුරදුන් අයැදී.
2. අෂ්ට විද්යායෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුත්, තාදී ගුණ ඇති, ශරීර ශෝභාවක් දරන්නාවූ (නොහොත් නුවණ නමැති පහණක් ඇත්තාවූ) අන්තිම ශරීරයක් දරණ, තමන් වහන්සේට සමාන පුද්ගලයෙක් නැත්තාවූ තථාගතයන් වහන්සේට සියලු සත්ත්වයන් කෙරෙහි කරුනාව උපනි.
3. යම් හෙයකින් මේ දෙවි මිනිස්සුන්ට උතුම්වූ මේ බුදුරජහු කෙබඳුද, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්ධි බලය, ප්රඥා බලය කෙබඳුද, බුද්ධ බලය කෙබඳුදැයි නොදනිත්.
4. යම් හෙයකින් මේ දෙවි මිනිස්සු මිනිසුන්ට උතුම්වූ මේ බුදුරජහු මෙබඳුය, ලොවට හිතවූ උන්වහන්සේගේ ඎද්ධි බලය හා ප්රඥා බලය මෙබඳුය, බුද්ධ බලය මෙබඳුයයි නොදනිත්ද?
5. එහෙයින් මම උතුම්වූ බුද්ධ බලය දක්වන්නෙමි. අහසෙහි රුවනින් හෙබි සක්මණක් මවන්නෙමි.
6. බිම වැසි දෙවියෝද, චාතුම්මහාරාජික නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තාවතිංස නම් දෙව්ලෝ වැසි දෙවියෝද, යාම නම් දෙව්ලෝ වැසි දෙවියෝද, තුසිත නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නිම්මානරතී නම් දෙව්ලෝ වැසි දෙවියෝද, පරනිම්මිත වසවත්ති නම් දෙව්ලෝ වැසි දෙවියෝද, නැවත යම් බඹලෝ වැසි බ්රහ්ම කෙනෙක් ඇද්ද, ඔවුහුද, සතුටුවූවාහු මහත් ඝෝෂාවක් කළහ.
7. ඒ කාලයෙහි ආශ්චර්ය්යවූ පෙළහර දැක බොහෝවූ දෙවියන් සහිත මිනිස්සුද, ලෝකාන්තරික නිරයවල උපන් සත්ත්වයෝද සතුටුවූහ. මුළු පොළොව බැබලවී. ලෝකාන්තරික නරකයෝද අනාවරණය වූහ. අඳුරද නැසුනේ විය.
8. දෙව්, ගඳඹ, මිනිස්, රකුස් යන මොවුන් සහිත මේ මිනිස් ලොවෙහිද, අන් දෙව්ලෝවලද යන උභය ලෝකයන්හිද, යටද, උඩද, සරසද පැතිර පැවති විශාලවූ මහත් ආලෝකයක් ඇතිවී.
9. සීලාදී ගුණයෙන් සියලු සත්ත්වයන් විෂයෙහි උතුම්වූ, තමන් වහන්සේට වඩා උසස් කෙනෙක් නැති, සත්ත්වයන් හික්මවන ශාස්තෘතෙම දෙවි මිනිසුන් විසින් පුදන ලද්දේ විය. මහත් ආනුභාව ඇති, සිය පින් ලකුණෙන් යුත් බුදුරජතෙම ආශ්චර්ය්යවූ පෙළහරක් දැක්වී.
10. එකල්හි මිනිසුන් අතර උතුම්වූ පසැස් ඇති ලෝහිමිවූ ඒ බුදුරජතෙම සහම්පති නම් මහබඹහු විසින් අයදනා ලද්දේ හිත කාරණය බලා එහි මනාව නිමියාවූ සියලු රණින් නිමවන ලද සක්මණක් මැවී.
11. ඎද්ධි, ආදේශනා, අනුශාසනී යන තුන් පෙළහරෙහි භාග්යවත් තෙම වසීවූයේ විය. ලෝනාහිමිවූ බුදුරජතෙම මනාව නිමියාවූ, සියලු රනින් නිමවන ලද සක්මනක් මැවී.
12. දස දහසක් සක්වළෙහි උතුම්වූ මහාමේරු පර්වතයන් රුවන් සක්මනෙහි කණු මෙන් පිළිවෙලින් දැක්වී.
13. පස්මරුන් දිනූ බුදුරජතෙම දස දහසක් සක්වළ ඉක්මවා සක්මණ මැවී. රුවන් මුවා (රණින් කළ) සක්මණ දෙපසෙහි බිමද රණින් කරන ලද්දේය.