8. පදුම බුදුරදුන්ගේ වංශය
1. අනොමදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි දෙපා ඇති සත්ත්වයන්ට (දෙවි මිනිසුන්ට) උතුම්වූ (ගුණයෙන්) අසමවූ, තමාට සමාන පුද්ගලයෙක් නැති, නම්න් “පදුම” නම් සම්බුදු රජ තෙම වී.
2. උන්වහන්සේගේද ශීලය අසමය. සමාධියත් කෙළවරක් නැත. උතුම් සර්වඥතාඥානය (නොහොත්) ෂට් අසාධාරණ ඥානයද අසංඛ්යය. (නොගිණිය හැක.) විමුක්තියද උපමා රහිතය.
3. අසම තෙද ඇති, ඒ පදුම බුදුරජහුගේ දම්සක් පැවැත්මෙහි මහත් මොහඳුර දුරු කරණ ධර්මාවබෝධ තුණක් වූහ.
4. සම්බුදුරජතෙම පළමුවන ධර්මාවබෝධයෙහිදී කෝටි සියයක් දෙනාට සිවුසස් අවබෝධ කරවී. නුවණ ඇති බුදුරජහු දෙවන ධර්මාවබෝධයෙහි අනූකෝටියක් දෙනාට ධර්මාවබෝධය කරවූ සේක.
5. යම් කාලයෙක පදුම බුදුරජතෙම සිය පුතුට අවවාද කළ සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් දෙනාට තුන්වන ධර්මාවබෝධය වී.
6. මහර්ෂීවූ “පදුම” බුදුරදුන්ට ශ්රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. කෝටි ලක්ෂයක් (රහතුන්ගේ) දෙනාගේ පළමුවන රැස්වීම විය.
7. කඨින සිවුරු අතුරණ කාලයෙක කඨින සිව්රක් ලැබුණු කල්හි දම් සෙනෙවි “සාල” තෙරුන් පිණිස භික්ෂූහු කඨින සිව්ර මැසුවාහුද,
8. ඒ කාලයෙහි කෙලෙස් සතුරන් විසින් නොපරදවන ලද, මහත් ඎද්ධි ඇති, ෂට් අභිඥාලාභී, කෙලෙස් කිලුටු නැති ඒ භික්ෂූහු තුන් ලක්ෂයක් රැස්වූහ.
9. නැවතද ඒ පදුම බුදුරජතෙම මහා වනයෙහි වස් විසීමට එළඹි සේක්, ඒ කාලයෙහි දෙලක්ෂයක් (රහතුන්ගේ) සමාගමය වී.
10. මම ඒ කාලයෙහි සිවුපාවුන් වනසනසුළු සිංහරාජයෙක් වීමි. (එකල) වනයෙහි ච්ත්ත විවේකය වඩන (සමවතට සමවන්) ජිනරාජයන් වහන්සේ දුටුයෙමි.
11. (ඒ පදුම බුදුරදුන් දැක) හිසින් සිරිපාදයන් වැඳ පැදකුණු කොට, තෙවිටක් සිංහනාද කොට, සත් දිනක් මුළුල්ලේ ජිනරාජයන් වහන්සේට උපස්ථාන කෙළෙමි.
12. (පදුම) තථාගතතෙම සත්දිනක් මුළුල්ලෙහි කළ උතුම් සමවතින් නැගිට, සිතින් සිතා (හෙවත් ඉටා) කෝටියක් භික්ෂූහු කැඳවී.
13. ඒ කාලයෙහිද මහාවීරවූ ඒ පදුම බුදුරජතෙම ඒ භික්ෂූන් මැද, “මේ සිංහතෙම මෙයින් අපමණ කපෙහි බුදුවන්නේය” යි ප්රකාශයක් කල සේක.
14. තථාගතයන් වහන්සේ රම්ය වූ කිඹුල්වත් පුරයෙන් නික්ම, ප්රධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
15. අජපාල නුග රුක මුල හිඳගෙන, එහි දී කිරිපිඬු දානය පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
16. නේරඤ්ජරා ගං තෙර හි දී කිරිපිඬු වළඳා ඒ ජිනරාජ තෙමේ සරසන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
17. ඉක්බිති අනුත්තර වූ මහා යසස් ඇති මුනිඳු බෝධි මණ්ඩලය පැදකුණු කොට ඇසතු ගසක් මුල දී බුදුවන්නේය.
18. මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
19. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
20. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
21. “චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.
22. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
23. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
24. ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
25. යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
26. එපරිද්දෙන්ම අපි හැමදෙන මේ පදුම බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.