6. සොභිත බුදුරදුන්ගේ වංශය
1. රේවත බුදුරදුන්ට පසු කාලයෙහි එකඟවූ සන්හුන් සිත් ඇති, අසමවූ, තමහට සමානයෙක් නැති සොභිත නම් ලෝහිමි බුදුරජතෙම වී.
2. ඒ ජිනරාජතෙම ස්වකීය භවනයෙහිදී සිත වෙනස් කළ සේක. හුදෙක් බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ සේක.
3. දම්සක් දෙසුමෙහිදී උඩින් භවාග්රය තෙක්ද, යටින් අවීචිය තෙක්ද, මේ අතර එක පිරිසක් විය.
4. සම්බුදුවරතෙම ඒ පිරිසෙහි දම්සක් පැවැත්වී. ගණන් නොකළ හැකි පිරිසකට පළමුවන ධර්මාවබෝධය විය.
5. ඉන් පසුවත් දෙවි මිනිසුන්ගේ සමාගමයෙහිදී දහම් දෙසන කල්හි කෝටි අනූ දහසක් දෙනෙකුන්ට දෙවන ධර්මාවබෝධය විය.
6. නැවත “ජයසේන” නම් කැත් රජදරු තෙම ආරාමයක් ගොඩනගා ඒ කාලයෙහි බුදුරදුන්ට පාවාදුන්නේය.
7. පසැස් ඇති බුදුරජතෙම ඒ “ජයසේන” රජුගේ දානය වර්ණනාකොට දහම් දෙසූ සේක. එකල්හි කෝටි දහසක් දෙනාට තුන්වන ධර්මාවබෝධය විය.
8. මහාර්ශිවූ සෝභිත බුදුරදුන්ට තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු රහිත රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
9. “උග්ගත” නම්වූ ඒ රජ (සොභිත) නරදෙටුවන් වහන්සේට දානයක් දුනි. ඒ දානයෙහි සියක් කෝටියක් පමණ රහතුන් වහන්සේ පැමිණියාහ.
10. නැවත නුවර වැසි සමූහයා (සොභිත) නරදෙටුවන් වහන්සේට දානයක් දුනි. ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ගේ (රහතුන්ගේ) දෙවන රැස්වීම විය.
11. පස්මරුන් දිනූ (සොභිත) බුදුවරතෙම දෙව්ලොවෙහි වස් විසීම් කොට යම් කලෙක බැස්ස සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් රහතුන්ගේ තුන්වන රැස්වීම විය.
12. මම ඒ කාලයෙහි “සුජාත” නම් බමුණෙක් වීමි. ඒ කාලයෙහි ශ්රාවකයන් සහිතවූ බුදුරදුන් ආහාර පානයෙන් වැළඳවීමි.
13. ලෝ නා හිමිවූ ඒ සෝභිත බුදුවරයන් වහන්සේද, “මේ තෙම මෙයින් පමණ නොකළ හැකි කපෙහි බුදු වන්නේය” යි මා ගැන ප්රකාශයක් කළ සේක.
14. රම්යවූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙම පධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
15. අජපාල නුග රුක මුල හිඳ තථාගත තෙම එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
16. ජිනරාජ තෙම නේරඤ්ජරා ගඟ තෙර හිඳ කිරිපිඬු වළඳා සරසන ලද උතුම් මගින් බෝ මැඩට එළඹෙන්නේය.
17. ඉක්බිති උතුම්වූ මහ යසස් ඇති ඒ මුනි තෙම බෝ මැඩ පැදකුණු කොට ඇසතු රුක් මුල දී බුදු වන්නේය.
18. මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
19. කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
20. ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
21. චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.
22. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,