3. මඞ්ගල බුද්ධවංසො
1. කොණ්ඩඤ්ඤ නම් බුදුරදුන්ට පසු කාලයෙහි මඞ්ගල නම් ලෝකනායකයන් වහන්සේ, ලෝකයෙහි මෝහ නමැති අඳුර නැතිකොට දහම් නමැති ගිනිහුල දැරූ සේක.
2. සෙසු ජිනරාජයන්ට වඩා පැතුරුණාවූද උන්වහන්සේගේ අසමානවූ ශරීර ශෝභාව සඳ හිරු දෙදෙනාගේ ආලෝකය යටපත්කොට දස දහසක් සක්වළ බබලයි.
3. ඒ බුදුරදහුද අතිශයින් උතුම්වූ සිවුසස් දෙසූ සේක. ඒ ඒ දෙවි මිනිස් ආදීහු සිවුසස් රසය පානයකොට මහත් අඳුර නැති කරත්.
4. අසමවූ බුදුබවට පැමිණ පළමුවන දම්දෙසුමෙහිදී කෝටි සියක් දහසකට පළමුවන වර ධර්‍මාවබෝධය වී.
5. ඒ බුදුරජතෙම සක්දෙව් විමනෙහිදී දම් දෙසූසේක්ද, කෝටි නව දහසකට දෙවන වර ධර්‍මාවබෝධයවී.
6. යම් කලෙක සුනන්‍ද නම් සක්විති රජ බුදුරදුන් වෙත එළඹියේද, එකල භාග්‍යවත්වූ සම්බුදුරජ තෙම ඉතා උතුම් දහම් නමැති බෙරය ගැසුවේය.
7. ඒ කාලයෙහි සුනන්‍ද නම් සක්විති රජහුගේ එකට හැසිරෙන ජන සමූහයෝ අනූ කෝටියක් වූහ. ඒ හැම දෙනම ඉතිරිනොවී එහිභික්ඛු භාවයෙන් පැවිද්දෝ වූහ.
8. මහර්ෂීවූ මංගල බුදුරදුන්ට ශ්‍රාවකයන්ගේ රැස්වීම් තුනක් වූහ. කෝටි සියක් දහසක් දෙනාගේ පළමුවන රැස්වීම විය.
9. ඒ කාලයෙහි කිලුටු නැති රහතුන් වහන්සේලා කෝටි දහසක් දෙනාගේ දෙවන රැස්වීමද, අනූ කෝටියක් දෙනාගේ තුන්වන රැස්වීමද වී.
10. මම ඒ කාලයෙහි මන්ත්‍ර උගන්වන්නාවූ, සිප් සතර ඉගෙනගන්නාවූ තුන් වේදයෙහි පරතෙරෙට පැමිණි සුරුචි නම් බමුණෙකි.
11. මම ඒ මඞ්ගල බුදුරදුන් කරා එළඹ බුදුරදුන්ගේ සරණ ගොස් බුදුපාමොක් සඟන සුවඳ මලින් පිදුවෙමි. සුවඳ මලින් පුදා ගව පානයෙන් වැළඳෙව්වෙමි.
12. දෙපා ඇති සත්ත්‍වයන්ට උතුම්වූ ඒ මඞ්ගල බුදුරජහුද මෙයින් කල්ප අසංඛ්‍යයකින් මතුයෙහි මේ තෙම බුදුවන්නේයයි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
13. රම්‍යවූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙම ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට.
14. තථාගත තෙම අජපාල නුග රුක් මුල හිඳ එහිදී කිරිපිඬු ගෙන නේරඤ්ජරා නදිය වෙත එළඹෙන්නේය.
15. ඒ ජින තෙම නේරඤ්ජරා නදී තෙර හිඳ කිරිපිඬු වළඳා සරසන ලද උතුම් මගින් බෝමැඩ වෙත එළඹෙන්නේය.
16. ඉක්බිති අනුත්තරවූ මහා යසස් ඇත්තාවූ හෙතෙම බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක් මුල බුදු වන්නේය.
17. මොහුගේ වදන මව් තොමෝ මායා නම් වන්නීය. පියතෙම සුදොවුන් නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
18. කෝලිත ද, උපතිස්ස ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
19. ඛෙමා ද, උප්පලවණ්ණා ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
20. චිත්තා ද, හත්‍ථාලවක ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. නන්‍දමාතා ද, උත්තරා ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.
21. අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැයි සිතූහ.