4. සුමන බුදුරදුන්ගේ වංශය
1. මඞ්ගල බුදුරදුන්ට පසු කාලයෙහි සියලු ධර්මයන් අසමවූ, සියලු සත්ත්වයන්ට උතුම්වූ, සුමන නම් ලෝකනායක තෙම වී.
2. ඒ කාලයෙහි ඒ සුමන බුදුරජහුද “මෙඛල” නම් නුවරදී චතුරාර්ය්ය සත්ය ධර්ම කථා නම්වූ නවාංඞ්ග ජිනශාසන නමැති අමා බෙරය ගැසී.
3. ඒ සුමන බුදුරජහු කෙලෙසුන් දිනා උතුම්වූ සම්බොධියට (බුදුබවට) පැමිණ නිවන් නමැති නුවරක් මැවී. ඒ දහම් නමැති පුරයෙහි
4. උන්වහන්සේ අතරක් නැති, ඇද නැති, කෙලින් සිටි, ඉතා උතුම් සතර සතිපට්ඨාන නමැති මහා වීථියක් මැවී.
5. ඒ වීථියෙහි (සෝවාන් ආදී) සතර පැවිදි ඵලයන්ද, සිව්පිළිසිඹියාවන්ද, ෂට් අභිඥවෙන්ද, අට සමවත්ද පැතිරවී.
6. යම් කෙනෙක් නොපමාවූවාහුද, පඤ්චචෙතොබලයෙන් (සිතේ ඇනුණු උල් පසින්) තොරවූවාහුද, ලජ්ජාවෙන් හා වීර්ය්යයෙන් යුක්තවූවාහුද, ඒ ඒ දෙවි මිනිස්සු මේ උතුම් ගුණයන් පහසුවෙන් ගණිත්.
7. මෙසේ (සුමන) ශාස්තෲන් වහන්සේ මේ ආකාරයෙන් මහජනයා (සසර සයුරෙන්) ගොඩලමින් කෝටි ලක්ෂයකට පළමුවර සිව්සස් අවබෝධ කරවූ සේක.
8. මහාවීරතෙම යම් කලෙක තීර්ත්ථක සමූහයාට අවවාද කළ සේක්ද, (ඒ) දෙවනවර දම් දෙසුමෙහිදී කෝටි දහසක් දෙනා ධර්මය අවබෝධ කළාහුය.
9. යම් කලෙක දෙවියෝද, මිනිස්සුද සමගිවූවාහු, එක් සිත් ඇත්තාහු නිරෝධය (නිවණ) පිළිබඳ ප්රශ්නද, සිතේ හටගත් සැකය විචාළාහුද,
10. ඒ කාලයෙහි නිවන් දක්වන දම් දෙසුමෙහිදී කෝටි අනූ දහසක් දෙනාට තුන්වනවර ධර්මය අවබෝධ වී.
11. මහාර්ෂිවූ සුමන බුදුරදුන්ට (හොඳ නරක දෙකෙහි සමව පවත්නා) තාදී තුණ ඇති, රාගාදී කිලුටු නැති මහතුන්ගේ රැස්වීම් තුනක් විය.
12. වස් විසූ භාග්යවතුන් වහන්සේ විසින් පවාරණය දැන්වූ කල්හි කෝටි ලක්ෂයක් භික්ෂූන් සමග තථාගතයන් වහන්සේ පවාරණය කළ සේක.
13. ඉන්පසු නිර්මලවූ කසුන් පව්වෙහි රැස්වීමේදී කෝටි අනූ දහසකගේ දෙවන රැස්වීම විය.
14. යම් කලෙක සක්දෙව් රජ බුදුන් දැකීමට එළඹියේද, (එකල්හි) කෝටි අනූ දහසක් දෙනාගේ තුන්වන රැස්වීම වී.
15. මම ඒ කාලයෙහි මහත් ඎද්ධි ඇති, වැඩුනු කුසල් රාශි ඇති, නම්න් “අතුල” නම්වූ නාගරාජයෙක් වීමි.
16. ඒ කාලයෙහි මම නාග භවනයෙන් නික්ම සිය නෑයන් සමග නාගයන්ගේ දිව්ය තූර්ය්යයෙන් සංඝයා සහිත ජිනරාජයන් වහන්සේට උවටැන් කෙළෙමි.
17. කෝටි ලක්ෂයක් භික්ෂූන්ට ආහාර පානයෙන් සංග්රහ කෙළෙමි. එක එක නමට පිළි සඟල බැගින් පුදා උන්වහන්සේ සරණ ගියෙමි.
18. ලෝකනායකවූ ඒ සුමන නම් බුදුරජහුද මෙයින් අපමණ කල්පයේදී මෙතෙම බුදුවන්නේයයි මා ගැන ප්රකාශයක් කළ සේක.
19. රම්යවූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙම පධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
20. අජපාල නුග රුක මුල හිඳ තථාගත තෙම එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
21. ජිනරාජ තෙම නේරඤ්ජරා ගඟ තෙර හිඳ කිරිපිඬු වළඳා සරසන ලද උතුම් මගින් බෝ මැඩට එළඹෙන්නේය.
22. ඉක්බිති උතුම්වූ මහ යසස් ඇති ඒ මුනි තෙම බෝ මැඩ පැදකුණු කොට ඇසතු රුක් මුල දී බුදු වන්නේය.