2. කොණ්ඩඤ්ඤ බුද්ධවංසො
1. දිවකුරු බුදුරදුන්ට පසු කාලයෙහි කෙළවරක් නැති තෙද ඇති, අපමණ පිරිස් ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, ළංවිය නොහැකි කොණ්ඩඤ්ඤ නම්වූ ලෝකනායත බුදුවරයෙක්වී.
2. උන්වහන්සේ ඉවසීමෙන් පොළවට බඳු උපමා ඇත්තේය. සීලයෙන් සාගරයට බඳු උපමා ඇත්තේය. සමාධියෙන් මහමෙරට බඳු උපමා ඇත්තේය. නුවණින් අහසට බඳු උපමා ඇත්තේය.
3. ඒ බුදුරදහු හැම කල්හි සියලු සතුන්ට හිත පිණිස ඉන්‍ද්‍රිය, බල, බොජ්ඣඞ්ග, මග්ග, සච්ච යන මොවුන් ප්‍රකාශවන දහම් දෙසති.
4. කොණ්ඩඤ්ඤ නම් ලෝ නාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි ලක්‍ෂයක් දෙවි මිනිසුන්ට පළමුවන වර ධර්‍මාවබෝධය වී.
5. ඉන් පසුත් දෙවි මිනිසුන්ගේ රැස්වීමක දහම් දෙසන කල්හි කෝටි අනූදහසක් දෙනාට දෙවනවර ධර්‍මාවබොධය වී.
6. යම්කලෙක තීර්ත්‍ථකයන් මඩිමින් දහම් දෙසීද, එකල කෝටි අසූ දහසක් දෙනාට තුන්වන වර ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂීවූ කොණ්ඩඤ්ඤ බුදුරදුන්ට රාගාදී කිලුටු නැති, සන්හුන් සිත් ඇති, තාදී ගුණ ඇති රහතන් වහන්සේලාගේ රැස්වීම් තුනක් වූහ.
8. කෝටි සියක් දහසක් රහතුන්ගේ පළමු රැස්වීම වී. කෝටි දහසක් රහතුන්ගේ දෙවන රැස්වීම වී. අනූ කෝටියක් රහතුන්ගේ තුන්වන රැස්වීම වී.
9. ඒ කාලයෙහි මම විජිතාවී නම් සක්විති රජව, මුහුදු කෙළවර අවසන්කොට පොළොවෙහි ඉසුරු බව පවත්වමි.
10. මම ලොවග නාහිමිඳු බුදුරජහු සමග රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලා කෝටි සියක් දහසක් මිහිරි ආහාරයෙන් වැළඳවීමි.
11. ඒ ලෝහිමිවූ කොණ්ඩඤ්ඤ බුදුරදහුද මෙයින් කල්ප අසංඛ්‍යයකින් මතුයෙහි මේ තෙම බුදුවන්නේය යි මා පිළිබඳව ප්‍රකාශයක් කළ සේක.
12. රම්‍යවූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙම ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට.
13. තථාගත තෙම අජපාල නුග රුක් මුල හිඳ එහිදී කිරිපිඬු ගෙන නේරඤ්ජරා නදිය වෙත එළඹෙන්නේය.
14. ඒ ජින තෙම නේරඤ්ජරා නදී තෙර හිඳ කිරිපිඬු වළඳා සරසන ලද උතුම් මගින් බෝමැඩ වෙත එළඹෙන්නේය.
15. ඉක්බිති අනුත්තරවූ මහා යසස් ඇත්තාවූ හෙතෙම බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක් මුල බුදු වන්නේය.
16. මොහුගේ වදන මව් තොමෝ මායා නම් වන්නීය. පියතෙම සුදොවුන් නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
17. කෝලිත ද, උපතිස්ස ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. ආනන්‍ද නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
18. ඛෙමා ද, උප්පලවණ්ණා ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝධිය ඇසතු රුකයයි කියනු ලැබේ.
19. චිත්තා ද, හත්‍ථාලවක ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. නන්‍දමාතා ද, උත්තරා ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති ඒ ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.
20. අසමවූ, මහර්ෂීවූ ඒ බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැයි සිතූහ.
21. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
22. ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි මුන්වහන්සේ හමුවන්නෙමු.