1. දීපඞ්කර බුද්ධවංසො
1. එකල්හි ඒ රම්ම නගරවාසීහු සඞ්ඝයා සහිත ලෝනා හිමිඳුන් වළඳවා ඒ දීපඞ්කර ශාස්තෲන් වහන්සේගේ සරණ ගියහ.
2. තථාගතයන් වහන්සේ කිසිවකු සරණාගමණයෙහිද, කිසිවකු පන්සිල්හිද, අනිකකු දස සිල්හිද යෙදවී.
3. ඒ දිවකුරු මුනිඳු තෙම කිසිවකුහට ශ්රාමණ්යයයි කියන ලද ආර්ය්ය අෂ්ටාංගික මාර්ගය දෙයි. කිසිවෙකුහට අසම දහම්වූ සිවු පිළිසිඹියාවන් දෙයි.
4. නරදෙටුතෙම කිසිවකුහට උතුම් අට සමවත් දෙයි. කිසිවකුහට ත්රිවිද්යාවන්ද, ෂට් අභිඥාවන්ද දෙයි.
5. මහමුනිදු තෙම ඒ ක්රමයෙන් ජන සමූහයාට අවවාද කරයි. එහෙයින් ලෝනා දිවකුරු මුනිඳුන්ගේ සස්න පැතිරවී.
6. පිරුණු කොපුල් ඇති ගව රජෙකුගේ කඳට බඳු කඳක් ඇති දීපඞ්කර නම් බුදුරජහු බොහෝ දෙනා සසරින් එතර කරයි. දුගතියෙන් මුදවයි.
7. මහමුනිඳු සිව්සස් අවබෝධ කළහැකි ජනයා දැක සිය දහස් ගණන්ද, යොදුන් ඇසිල්ලකින් ගොස් ඔහුට සිව්සස් අවබෝධ කරවයි.
8. ලෝනාහිමිවූ බුදුරජතෙම පළමුවර ධර්මාවබොධයේදී කෝටි සීයක් මහජනයාට සිව්සස් අවබෝධ කළ සේක. දෙවන වර ධර්මාවබෝධයේදී අනූකෝටියක් දෙනාට සිවුසස් අවබෝධ කළ සේක.
9. යම් කලෙක්හි බුදුරජතෙම දෙව් විමනෙහිදී දහම් දෙසූ සේක්ද, එකල කෝටි අනූ දහසක් දෙනාට තුන්වන වර ධර්මාවබෝධය වී.
10. දීපඞ්කර ශාස්තෲන් වහන්සේට භික්ෂූන් පිළිබඳ රැස්වීම් තුණක් වූහ. කොටි ලක්ෂයක් දෙනෙකුගෙන් පළමුවන රැස්වීම වී.
11. නැවත නාරද පර්වතයට ජිනෙන්ද්රයන් වහන්සේ විවේකය පිණිස වැඩිය කල්හි රාගාදී කෙළෙස් කිලිටු නැතිකළ රහතුන් වහන්සේලා සියක් කෝටියක් පමණ රැස්වූහ.
12. මහා වීර්ය්ය ඇති දීපඞ්කර මහා මුනිතෙම යම් කලෙක සුදර්ශන නම් පර්වතයෙහිදී භික්ෂූන් අනූ කෙළ දහසකින් පිරිවරා පවාරණය කළ සේක.
13. මම ඒ කාලයෙහි කෙලෙස් තවන, අහසෙහි හැසිරෙන සුළු, පඤ්චාභිඤ්ඤාවන්හි පරතෙරට පැමිණි සුමෙධ නම් ජටාධරයෙක් වීමි.
14. එකල දස දහසක්, විසි දහසක් පමණ දෙනාට සිව් සස් අවබෝධය විය. එක් එක් කෙනාට වූ සිව්සස් අවබෝධය ගණන් වශයෙන් ගිනීම කළ නොහැක.
15. ඒ කාලයෙහි දිවකුරු බුදුන්ගේ ඉතා පිරිසිදු කළ සස්න පැතුරුණේ විය. බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ, දියුණුවූයේ, පිරුණේද විය.
16. ෂට් අභිඥා ලාභීවූ, මහත් ඎද්ධි ඇති, සාර ලක්ෂයක් පමණ භික්ෂූහු හැම කළ දිවකුරු බුදුරදුන් පිරිවරකොට හැසිරෙත්.
17. ඒ කාලයෙහි සෙඛ නම්වූ රහත්බවට නොපැමිණි යම්කිසි කෙනෙක් මිනිස්බව හරිත්ද, ඔවුහු නින්දා කරණ ලද්දේ වෙත්.
18. අභිඤ්ඤා කුසුමයෙන් මනාව පිපුණු බුද්ධ ශාසනය තාදී ගුණ ඇති ආසවයන් නැති කළ, රාගාදී කිලුටු නැති, රහතුන් වහන්සේලා කරණකොටගෙන සියලු කල්හි බබලයි.
19. දීපඞ්කර ශාස්තෲන්ගේ නුවර රම්මවතී නම් වී. පියතෙම සුදෙව නම් රජය. වැදූ මව් සුමෙධා නම් බිසව වී.
20. ඒ දිවකුරු මුනිඳු අවුරුදු දසදාහක් ගිහිගෙයි විසී. හංස, කොඤ්ච, මයුර යන උතුම් ප්රාසාද තුණක් වූහ.
21. මනාව සරසන ලද පිරිවර අඟනෝ තුන් ලක්ෂයක් වූහ. ප්රසිද්ධ දෙටු බිරින්ද පදුමා නම් වූවා. පුත් තෙම උසභක්ඛන්ධ නම් වී.
22. දිවකුරු ජිනරාජ තෙම සතර නිමිති දැක ඇත් යානයෙන් මහබිනික්මන් කෙළේ නොඅඩු දස මසක් මුලුල්ලේ ප්රධාන විර්ය්යය කළ සේක.