23. කොණාගමන බුද්ධවංසො
1. කකුසඳ බුදුරදුන්ට පසු කාලයෙහි සම්බුදුවූ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, ලොවට උසස්වූ, නරදෙටු “කෝණාගමන” නම් ජිනරාජතෙම
2. දස පෙරුම් දම් පුරා සසර කතර ඉක්මවූ සේක. සියලු කෙලෙස් මල සෝදා හැර උතුම් සම්බෝධියට පැමිණි සේක.
3. කොණාගමන නම් ලෝනාහිමිඳු දම්සක් පවත්වන කල්හි කෝටි තිස් දහසක් දෙනෙකුන්ට පළමු ධර්මාවබෝධය වී.
4. මිසදිටු වාද මැඩීමෙහි ලා පෙළහර කරන කල්හිද කෝටි විසි දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
5. ඊට අනතුරුව පස්මරුන් දිනූ (කෝණාගමන) සම්බුදුරජතෙම විකුර්‍වණ ඎද්‍ධිය කොට දෙව්ලොවට වැඩි සේක්, එහි පඬුපුල් සලස්නෙහි වාසය කළ සේක.
6. ඒ මුනිඳු ප්‍රකරණ සත දෙසමින් වස් විසී. කෝටි දස දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
7. දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ එක් සන්නිපාතයක් (රැස්වීමක්) වී.
8. ඒ කාලයෙහි චතුරෝඝයන් ඉක්මවූ, මරණය බිඳදැමූ, (රහත්වූ) තිස් දහසක් භික්‍ෂූන්ගේ සමාගමය (රැස්වීම) වී.
9. මම ඒ කාලයෙහි “පබ්බත” නම් රජෙකි. මිතුරන්ගෙන් හා ඇමතියන්ගෙන් යුත්වූයේ බොහෝ සේනා වාහනද විය.
10. බුදුරදුන් දැකීමට ගොස් උතුම් දහම් අසා ජිනරාජයන් සහිත සඞ්ඝයාට ආරාධනා කොට කැමති සේ දන් දී,
11. පත්තුණ්ණ දෙශයෙහි නිපදවන ලද පිළිද, චීන පිළිද, කොසෙය්‍ය පටපිළිද, කම්බිළිද, රන් පාදුකා (වහන්) ද, ශාස්තෲන් වහන්සේට හා ශ්‍රාවකයන්ට පිදුවෙමි.
12. ඒ මුනි සඳුද, සඟ මැද වැඩහිඳ, “මේ පර්‍වත රජ තෙම මේ භද්‍ර කල්පයෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
13. ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
14. ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
15. නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
16. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
17. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
18. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
19. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. අනාසවවූ, වීතරාගීවූ, සන්සුන් සිත් ඇති, එකඟවූ (ඒ රහත් මෙහෙණින් අග්‍ර වන්නාහුය.) ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
20. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
21. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
22. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.