24. කස්සප බුද්ධවංසො
1. “කොණාගමන” නම් බුදුරදුන්ට පසු කාලයෙහි සිවුසස් අවබෝධ කළ, දෙපා ඇති සතුන්ට උතුම්වූ, බැබලීම් ඇති කරණ, නම්න් “කසුප්” නම්වූ දහම්රදතෙම,
2. හැරදමන ලද කුලගෙයද, මූල නම් අපමණ ධන රාශියද, බොහෝ ආහාර පානද, සිත පුරා යාචකයන්ට දන්දී, ගාල බිඳගෙන යන ගව රජෙකු මෙන් උතුම් සම්බෝධියට පැමිණි සේක.
3. කසුප් ලෝනාහිමි දම්සක් පවත්වන කල්හි කෝටි විසි දහසක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
4. යම් කලෙක (කසුප්) බුදුරජතෙම සිව් මසක් මුළුල්ලේ ලෝකයෙහි සැරිසැරූ සේක්ද, ඒ කාලයෙහි කෝටි දස දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
5. යමාමහ පෙළහර කොට, සර්‍වඥතාඥානය පළකළ සේක්ද, කෝටි පන්දහසක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
6. ජිනරාජතෙම සුදම් දෙව්සබය ඇති දෙව් පුරයෙහි දම් දෙසූ සේක්ද, කෝටි තුන් දහසක් දෙවියන්ට ධර්‍මාවබෝධය කෙළේය.
7. “නරදෙව්” නම් යකුට අනික් වරෙක දම් දෙසන කල්හි මේ දෙවියන්ට (වූ) ධර්‍මාවබෝධය ගණනින් නොගිනිය හැක. හෙවත් ගණන් කළ නොහැක.
8. දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද, තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ එක් රැස්වීමක් වී.
9. ඒ කාලයෙහිදී ලජ්ජා සීලාදී ගුණයෙන් එකබඳු, රාගාදී කෙලෙස් ඇතියවුන් ඉක්මවූ විසිදහසක් භික්‍ෂූන්ගේ රැස්වීමක් වී.
10. ඒ කාලයෙහි මම සිප් සතර උගන්වන, ඉගෙනගත් මන්ත්‍ර දරණ, තුන් වේදයෙහි පරතෙරට ගිය, ජොතිපාල යන නමෙන් පතළ මාණවකයෙක් වීමි.
11. මහපුරිස් ලකුණු දැනීමෙහිද, ඉතිහාසයෙහිද, සිය බමුණු දහමෙහිද (ඉගෙණීමෙන්) පරතෙරෙට පැමිණි, පොළොව හා අහස පිළිබඳ තතු දැනීමෙහි බුහුටිවූ, කළ පුරුද්ද ඇති, දැනුමෙන් නොඅඩු (වූයෙමි).
12. කසුප් බුදුරදුන්ගේ ගෞරව සහිතවූ, යටහත් පැවතුම් ඇති, අනාගාමී ඵලයෙන් කෙලෙස් නිවූ, ඝටීකාර නම් උපස්ථායකයෙක් වී.
13. ඝටීකාර තෙම මා ගෙණ කසුප් දිනිඳු (බුදුන්) වෙත එළඹියේය. උන්වහන්සේගේ දහම් අසා, උන්වහන්සේ වෙත පැවිදිවීමි.
14. පටන්ගන්නා ලද විර්‍ය්‍ය ඇත්තෙක්ව, වතාවත්හි දක්‍ෂවූයේ, සීල සමාධි ආදී කිසි තැනක නොපිරිහුනෙමි. බුදුසසුන පිරුවෙමි.
15. යම් පමණ බුදුවදන් වීද, නවඟ සසුනක් වීද, ඒ සියල්ල ඉගෙන බුදුසසුන හෙබවීමි.
16. ඒ කසුප් බුදුරජතෙමේද, මාගේ පුදුම මනා පිළිවෙත් දැක, “මේ (ජෝතිපාල) තෙම මේ භද්‍රකල්පයෙහි බුදුවන්නේය” යි විවරණයක් ප්‍රකාශ කළ සේක.
17. ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
18. ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
19. නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
20. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
21. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
22. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.