21. වෙස්සභූ බුද්ධවංසො
1. එම මණ්ඩ නම් කල්පයෙහි අසමවූ, තමාට සමාන පුද්ගලයෙක් නැත්තාවූ, නම්න් “වෙස්සභූ” නම්වූ ලෝනා හිමිඳු උපන් සේක.
2. ඒ කාලයෙහි තණ්හාවන් පිළිබඳ නගරය රාග නමැති ගින්නෙන් දැල්වුනේයයි (දැන) බැඳුම් සිඳගෙන, ඇත් රජෙකු මෙන් (ගොස්) බුදුබවට පැමිණි සේක.
3. වෙස්සභූ ලෝනාහිමිඳුන් දම්සක් පවත්වන කල්හි කෝටි අසූ දහසක් දෙනෙකුන්ට පළමුවන ධර්මාවබෝධය වී.
4. ලෝදෙටු නරශ්‍රේෂ්ඨ බුදුරදුන් රටෙහි සැරිසරා වැඩිය කල්හි කෝටි සැත්තෑ දහසක් දෙනාට දෙවන ධර්‍මාවබෝධය වී.
5. උන්වහන්සේ මහා මිසදිටුව දුරු කරමින් (යමාමහ) පෙළහරක් කළ සේක. දසදහසක් සක්වළ දෙවියන් සහිත ලෝකයෙහි දෙවි මිනිස්සු රැස්වුහ.
6. පෙර නොවූවිරූ, ලොමු දැහැගන්නාවූ මහ පුදුමය දැක, සැට කෝටියක් දෙවියෝද, මිනිස්සුද සිවුසස් අවබෝධ කළාහුය.
7. මහර්ෂීවූ වෙස්සභූ බුදුරජුන්ට, තාදී ගුණ ඇති, සන්සුන් සිත් ඇති, කෙලෙස් කිලිටු නැති රහතුන්ගේ රැස්වීම් තුණක් වූහ.
8. අසූ දහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම වී. සැත්තෑ දහසක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.
9. මහර්ෂීවූ, බුද්‍ධපුත්‍රවූ, ජරා මරණ ආදී භය නැති කළ සැට දහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම වී.
10. මම ඒ කාලයෙහි “සුදස්සන” නම් රජෙකි. ආහාරපාන හා පිළියෙන්ද, සංඝයා සහිත ජිනරාජවූ බුදුරදුන් පිදූයෙමි.
11. අසමවූ ඒ (වෙස්සභූ) බුදුරදුන්ගේ පවත්වන ලද උතුම් දම්සක් අසා, උතුරු මිනිස්දම් (ලැබීමට) පැවිද්ද කැමැති වීමි.
12. රෑ දාවල් අනලස්ව මහ දන් පවත්වා, පැවිද්ද ගුණයෙන් යුක්තයයි දැන, ජිනරාජවූ බුදුරදුන් සමිපයෙහි පැවිදිවීමි.
13. ආචාරයෙන් හා ගුණයෙන් යුත්වූයේ, වතින් හා සීලයෙන් එකඟවූයේ, බුදුබව සොයමින්, බුදු සස්නෙහි සිත් අලවා වාසය කෙළෙමි.
14. සැදැහැයෙන් හා සතුටෙන් යුතුව, වෙත පැමිණ (දෙවි මිනිසුන්ට) අනුශාසනා කරණ බුදුරදුන්ගේ පා වැන්දෙමි. (එකල) සම්බෝධියට (බුදුබව) හේතුකොටගෙන මට ප්‍රීතිය උපනි.
15. සම්බුදුරද තෙම නොපසුබස්නා සිත් ඇති බව දැන, “මෙයින් තිස්එක්වන කපෙහි මේ (පැවිදි) තෙම බුදුවන්නේය” යන මෙය වදාළ සේක.
16. ඒ තථාගත තෙම ඒ දිනයෙහි මනරම් කිඹුල්වත් නුවරින් නික්ම, බුදුවීමට උත්සාහකොට, දුෂ්කර ක්‍රියාද කොට,
17. ඉක්බිති ඒ තථාගත තෙම අජපල් නුගරුක මුලෙහි හිඳ, එහිදී කිරිබත පිළිගෙන, නෙරංජරාවට එළඹෙයි.
18. නැවත ඒ ජිනරාජතෙම නෙරංජරා නදී තීරයෙහිදී කිරිබත වළඳයි. ඉක්බිති දෙවියන් විසින් පිළියෙළ කළ උතුම් මගින් බෝගස කරා එළඹෙයි.
19. මහා යසස් ඇති ගෞතම නරදෙටු තෙම ඊට පසු උතුම් බෝමැඩ පැදකුණුකොට ඇසතු ගස මුලදී බුදුබව අවබෝධ කර ගන්නේයි.
20. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
21. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.