19. විපස්සී බුද්ධවංසො
1. ඵුස්ස බුදුරජුන්ට පසු කාලයෙහි පසැස් ඇති, දෙපා ඇති සතුන්ට උතුම්වූ, නම්න් “විපස්සී” නම් බුදුරජතෙම ලෝකයෙහි උපන් සේක.
2. සියලු අවිද්‍යාවන් නැතිකර දමා, උතුම් සම්බුදු බවට පැමිණි සේක්, දම්සක් පැවැත්වීමට “බන්ධුමතී” නුවරට වැඩිය සේක.
3. (ලොවට) නායකවූ බුදුරජතෙම දම්සක් පවත්වා, බාල සොහොවුරු “ඛණ්ඩකුමාර” ද, පුරෝහිත බමුණු පුත් “තිස්ස” ද යන දෙදෙනාට සිව්සස් අවබෝධ කරවී. ගණනින් නොකිය හැකි (අපමණ) සත්ත්‍වයන්ට පළමු ධර්මාවබෝධය වී.
4. නැවතද අපමණ යසස් ඇති බුදුරජතෙම ඒ “බන්ධුමතී” පුරයෙහිදී සිව්සස් දෙසූ සේක. (එදා) අසූහාර දහසක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
5. අසූහාර දහසක් ජනයෝ සම්බුදුරජ අනුව පැවිදිවූහ. ආරාමයට පැමිණි ඔවුන්ට පසැස් ඇති බුදුරජතෙමේ දහම් දෙසූ සේක.
6. සියලු අයුරින් සිත් කන් යොමු කරවා දහම් දෙසන බුදුරජහුගේ (ධර්‍මය) අසා, (විපස්සී බුදුරජ අනුව පැවිදිවූ) ඒ භික්‍ෂූහුද උතුම් දහම් දැන (එලෙසින් පිළිපැදීමෙන් ඔවුන්ට) තුන්වන ධර්මාවබෝධය වී.
7. මහර්ෂීවූ විපස්සී බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදි කිලිටු නැති රහතන්ගේ රැස්වීම් තුණක් වූහ.
8. සැට අසූ දහසක් භික්‍ෂූන්ගේ පළමුවන රැස්වීම වී. ලක්‍ෂයක් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.
9. අට දහසක් භික්‍ෂූන්ගේ තුන්වන රැස්වීම වී. එහි භික්‍ෂු සමූහයා මැද සම්බුදුරජ ඉතා බබලයි.
10. මම ඒ කාලයෙහි මහත් ආනුභාව ඇති, පින්වත් ආලෝකයක් දරණ (බබලන) නම්න් “අතුල” නම් නාරජෙක් වීමි.
11. මම ඒ කාලයෙහි නොයෙක් කෝටි ගණන් නයින් පිරිවරා දිව්‍ය තූර්‍ය්‍යයන් වාදනය කරමින් ලෝකයාට උතුම්වූ බුදුරජවෙත එළඹියෙමි.
12. මම විපස්සී නම් ලොනාහිමි සම්බුදුරජ කරා එළඹ (ඒ) දම්රදුන්ට ආරාධනා කොට මිණිමුතු රුවණින් කළ, සියළු ආභරණින් හොබවන ලද රන් පුටුවක් පිදුවෙමි.
13. ඒ බුදුරජතෙමේද, සඟ මැද වැඩහිඳ, “මේ (අතුල නා රජ) තෙම මෙයින් අනූ එක්වන කල්පයෙහි බුදුවන්නේය” යි මා ගුණ ප්‍රකාශයක් කළ සේක.
14. රම්‍යවූ කිඹුල්වත්පුරයෙන් නික්ම තථාගත තෙමේ ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියාවන් කොට,
15. තථාගත තෙමේ අජපාල නුගරුක මුල හිඳ, එහිදී කිරිබත් පිළිගෙන නේරඤ්ජරා ගං තෙරට එළඹෙන්නේය.
16. ඒ ජින තෙමේ නේරඤ්ජරා ගං තෙරදී කිරිබත් වළඳා සැරසූ උතුම් මගින් බෝමැඩ වෙත එළඹෙන්නේය.
17. ඉක්බිති උතුම්වූ මහත් යසස් ඇති ඒ මුනි තෙමේ බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක මුලදී බුදුවන්නේය.
18. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
19. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
20. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
21. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
22. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,