18. ඵුස්ස බුද්ධවංසො
1. එම මණ්ඩ නම් කල්පයෙහි (දෙවි මිනිසුන්ගේ) අනුශාසකවූ, තමහට වැඩි උතුමෙක් නැති, උපමා රහිත, අසමසමවූ, “ඵුස්ස” නම් බුදුරජතෙම වී.
2. ඒ “ඵුස්ස” නම් බුදුරජතෙමේද, සියලු මොහඳුරු නසා, ලෝභ නමැති මහ අවුල ලිහා දමා, දෙවියන් සහිත ලෝකයා සතප්පවමින් (සනසමින්) අමාදියෙන් වැස්සේය.
3. ඵුස්ස බුදුරජුන් දම්සක් පවත්වන නැකැත් මඟුලෙහි (සැණකෙලියෙහි) දී කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමු ධර්‍මාවබෝධය වී.
4. අනූ ලක්‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී. අසූ ලක්‍ෂයක් දෙනෙකුන්ට තුන්වන ධර්‍මාවබෝධය වී.
5. මහර්ෂීවූ “ඵුස්ස” බුදුරජුන් පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
6. සැට ලක්‍ෂයක් රහතුන්ගේ පළමුවන සමාගමය (රැස්වීම) වී. පණස් ලක්‍ෂයක් රහතුන්ගේ දෙවන සමාගමය වී.
7. උපාදානයන්ගෙන් අල්වා නොගෙණ මිදුණු, ඉපදීම නැතිකළ, සතලිස් ලක්‍ෂයක් රහතුන් වහන්සේලාගේ තුන්වන රැස්වීම වී.
8. මම ඒ කාලයෙහි “විජිතාවී” නම් රජෙකි. මා සතුව තිබූ මහ රජය හැරදමා, උන්වහන්සේ වෙත පැවිදිවූයෙමි.
9. ලොව නාහිමිවූ “ඵුස්ස” නම් ඒ බුදුරජතෙමේද, “මේ (විජිතාවී) තෙම මෙයින් අනූ දෙවන කපෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
10. රම්‍යවූ කිඹුල්වත්පුරයෙන් නික්ම තථාගත තෙමේ ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියාවන් කොට,
11. තථාගත තෙමේ අජපාල නුගරුක මුල හිඳ, එහිදී කිරිබත් පිළිගෙන නේරඤ්ජරා ගං තෙරට එළඹෙන්නේය.
12. ඒ ජින තෙමේ නේරඤ්ජරා ගං තෙරදී කිරිබත් වළඳා සැරසූ උතුම් මගින් බෝමැඩ වෙත එළඹෙන්නේය.
13. ඉක්බිති උතුම්වූ මහත් යසස් ඇති ඒ මුනි තෙමේ බෝමැඩ පැදකුණු කොට ඇසතු රුක මුලදී බුදුවන්නේය.
14. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
15. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
16. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
17. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
18. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
19. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
20. “ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
21. “යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
22. “එපරිද්දෙන්ම අපි හැමදෙන මේ ඵුස්ස බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”
23. ඒ (ඵුස්ස) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
24. සූත්‍ර (පිටක) යද, විනය (පිටක) යද යන සියලු නවාඞ්ග ශාස්තෘ ශාසනය ඉගෙණ බුදුසසුන හෙබවීමි.