සුමෙධපත්ථනා කාණ්ඩය
1. මහා කල්ප ලක්ෂයක් අධිකකොට ඇති සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට පෙර දැකුම්කලු, මනරම්වූ, අමර(වතී) නම් නුවරක් වී.
2. දශ ශබ්දයකින් තොරනොවූ, ආහාරපානයෙන් යුත්, ඇතුන්ගේ කුඤ්ච නාදයෙන්ද, අසුන්ගේ හේසාරවයෙන්ද, බෙර හඬින්ද, සක් හඬින්ද, රථ හඬින්ද, “කව්, බොව්” යන හඬින්ද ඝෝෂා කරන ලද්දාවූ,
3. සියලු නගරාඞ්ගයෙන් යුත්, පැමිණි සියලු කර්මාන්ත ඇති, සත් රුවණින් සමන්විතවූ, නොයෙක් දේශවලින් පැමිණි නොයෙක් වෙස් ගත් ජනයාගෙන් ගැවසීගත්, පින්කම් කරන්නවුන්ට වාසස්ථානයක්වූ, “අමරවතී” නම් නුවර දෙව් නුවරක් මෙන් සමෘද්‍ධවී.
4. අමරවතී නම්වූ නුවරෙහි නිදන්කළ කෝටි ගණන් නොයෙක් ධනය ඇති, බොහෝ ධන ධාන්‍ය ඇති, “සුමේධ” නම් බමුණෙක් (විය.)
5. හෙතෙම වේද මන්ත්‍ර පිරිවහන්නාවූ, මන්ත්‍ර දරන්නාවූ, තුන් වේදයෙහි පරතෙරට පැමිණි, ලක්ෂණ ශාස්ත්‍රයෙහිද, ඉතිහාසයෙහිද, ස්වකීය බ්‍රාහ්මණ කුල ධර්මයෙහිද පරතෙරට ගිය කෙනෙකි.
6. ඒ කාලයෙහි මම රහසිව (තනිව) හිඳගෙන මෙසේ සිතූයෙමි. “නැවත ඉපදීම නම් දුකයි. ශරීර භෙදයත් (මැරීමත්) දුකයි” (කියාය.)
7. ඒ කාලයෙහි මම ඉපදීම ස්වභාවකොට ඇත්තෙක්ද, දිරීම ස්වභාවකොට ඇත්තෙක්ද, ලෙඩවීම ස්වභාවකොට ඇත්තෙක්ද වීමි. දිරීමක් නැති, මරණයක් නැති, භවයක් නැති නිවණ සොයන්නෙමි (යි සිතූයෙමි.)
8. නොයෙක් කුණපයෙන් පිරිණු මේ කුණු කය ඇලීමක් නැත්තේ, වැඩක් නැත්තේ හැරදමා යන්නෙම් නම් යෙහෙක.
9. භවයෙන් මිදීම පිණිස යම් මගක් වේද, ඒ මග ඇත. නැතිවන්ට බැරිය. (එහෙයින්) ඒ මාර්ගය සොයන්නෙමි.
10. යම්සේ දුකක් ඇතිකල සැපයකුත් ඇතිවෙයි. මෙසේ භවය ඇති කළ භවයෙන් මිදීමකුත් කැමතිවිය යුතුය.
11. යම්සේ උණක් ඇති කළ (එයින්) අන්‍ය සීතලක්ද ඇතිවෙයි. මෙසේ (රාග - ද්වේෂ - මෝහ යන) තුන් ගින්න ඇති කල නිවණත් කැමති විය යුතුය.
12. යම්සේ අකුසල් ඇතිකල කුසලයකුත් ඇතිවෙයි. මෙසේම ඉපදීම ඇතිකල නොඉපදීමයි කියන ලද නිවණකුත් කැමති විය යුතුය.
13. යම්සේ වැසිකිළි වළක වැටුණු මිනිසෙක් දිය පිරුණු විලක් දැක ඒ විල නොසොයා නම් එය විලේ දොසක් නොවේ.
14. මෙසේ කෙලෙස් කිලුටු සෝදා දමන නිවන් නමැති දිය විලක් ඇති කල්හි ඒ විල නොසොයා නම් එය නිවන් නමැති විලේ දොසක් නොවේ.
15. යම්සේ සතුරන් විසින් වට කරණ ලද මිනිසෙක් පලා යා හැකි මගක් ඇති කල පලා නොයේ නම් එය මගේ දොසක් නොවේ.
16. මෙසේ කෙලෙස්වලින් වලකන ලද්දේ, නිවන් මග ඇති කල ඒ මග නොසොයා නම්, එය නිවන් මග දොසක් නොවේ.
17. යම්සේත් ලෙඩවූ මිනිසෙක් වෙදෙකු ඇතිකල ඒ ලෙඩට වෙදකම් නොකරවා නම් එය වෙදාගේ දොසක් නොවේ.
18. මෙසේ කෙලෙස් නමැති ලෙඩින් උපන් දුක් ඇත්තේ, නිතර පෙළෙන ලද්දේ, ඇදුරකු නොසොයා නම් ඒ දෝසය සත්ත්වයන් හික්මවන (මොක් මග) ඇදුරන්ගේ නොවේ.
19. යම්සේ සැප ඇති, කැමතිසේ හැසිරෙන, තමහට වසඟවූ මිනිසෙක්, බෙල්ලෙහි බඳින ලද කුණපයක් පිළිකුල් කොට මුදාහැර යන්නේද,
20. එසේම නොයෙක් කුණු රැස්වූ මේ කුණු කය බලාපොරොත්තුවක් නැත්තේ, ප්‍රයෝජනයක් නැත්තේ හැර දමා යන්නෙමි.
21. යම්සේ මල පහ කරන තැන පුරුෂ ස්ත්‍රීහු මල බලාපොරොත්තු නැත්තෝ, හැර දමා යෙත්ද,