17. තිස්ස බුද්ධවංසො
1. සිදුහත් බුදුරදුන්ට අනතුරුව (පසු කාලයෙහි) අසමවූ, තමහට සමාන පුද්ගලයෙක් නැති, අපමණ තෙද ඇත්තාවූ, බොහෝ පිරිවර ඇති, ලෝනාහිමි “තිස්ස” නම් බුදුරජ,
2. අනුකම්පා ඇතිසේක්, මහා වීර්ය්ය ඇති සේක්, පසැස් ඇති සේක්, මොහඳුරු නසා, දෙවියන් සහිත ලෝකයා හොබවා ලෝකයෙහි උපන් සේක.
3. ඒ “තිස්ස” නම් බුදුරදුන්ගේද ඎද්ධිය අසමය. සීල හා සමාධියද අසමානය. උන්වහන්සේ සියලු ධර්මයන්හි පරතෙරට පැමිණ දම්සක් පැවැත්වූ සේක.
4. ඒ බුදුරජතෙම දස දහසක් සක්වළෙහි පිරිසිදුවූ වචනය (හෙවත් ධර්මය) හැඟවී. (හෙවත් දෙසූ සේක.) පළමුවන දම් දෙසුමෙහිදී කෝටි සියයක් දෙනා ධර්මාවබෝධය කළහ.
5. ඒ කාලයෙහි උන්වහන්සේ (වෙතට) පැමිණි දෙවි මිනිසුන් දෙවන දම් දෙසුමෙහිදී අනූ කෝටියක්ද, තුන්වන දම් දෙසුමෙහිදී සැට කෝටියක්ද සසර බැඳුමෙන් මිදූ සේක.
6. තිස්ස නම් ලෝනාහිමිඳුන් කෙරෙහි තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
7. රහතුන් සියක් දහසක් (ලක්ෂයක්) දෙනෙකුන්ගේ පළමුවන සමාගමය (රැස්වීම) වී. අනූ ලක්ෂයක් දෙනෙකුන්ගේ දෙවන සමාගමය වී.
8. (රහත්) ඵල විමුක්තියෙන් මල් පිපුනු (හෙවත් ප්රබෝධවූ) රාගාදී කිලුටු නැති, රහතුන් අසූ ලක්ෂයක් දෙනෙකුන්ගේ තුන්වන සමාගමය වී.
9. මම ඒ කාලයෙහි “සුජාත” නම් රජව, මහත් සම්පත් හැරදමා, ඉසි පැවිද්දෙන් පැවිදිවූයෙමි.
10. මා පැවිදිවූ කල්හි ලෝනාහිමිවූ බුදුරජතෙම ලොව පහළවූ සේක. “බුද්ධ” යන ශබ්ද (වචන)ය අසා මට සතුටක් උපන්නේය.
11. දෙව්ලොව හටගත්තාවූ මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද, දෙඅතින් දැඩිකොට ගෙන (වැහැරි සිවුරු) සලමින් අහසින් (බුදුරදුන් වෙත) පැමිණියෙමි.
12. මම ඒ (පියුම්) මලක් ගෙන, සිවුවණක් පිරිස් පිරිවරණ ලද “තිස්ස” නම් ලොවනාහිමි ජිනරාජයන් මත (කුඩයක්සේ) දැරූයෙමි.
13. ඒ බුදුරජතෙමේද, ජන සමූහයා මැද වැඩහිඳ, “මෙතෙම මෙයින් අනූ දෙවන කපෙහි බුදුවන්නේය” යි මා ගැන ප්රකාශයක් කළ සේක.
රම්ය වූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගතයන් වහන්සේ ප්රධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
අජපාල නුග රුක මුල හිඳ තථාගතයන් වහන්සේ එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
ඒ ජිනරාජ තෙමේ නේරඤ්ජරා ගං තෙර හිඳ කිරිපිඬු වළඳා සකස් කළ උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
ඉන්පසු උතුම් වූ බෝධි මණ්ඩලය පැදකුණු කොට මහා යසස් ඇති උන්වහන්සේ ඇසතු බෝ රුක මුල දී බුදු වන්නේය.
“මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
“කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
“ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
“චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.