16. සිද්ධත්ථ බුද්ධවංසො
1. ධම්මදස්සී බුදුරදුන්ට පසු කාලයෙහි “සිද්ධත්ථ” නම් ලෝ නාහිමි තෙම සියලු අඳුර පහකොට අහසට නැගී හිරු යම්සේද, (එසේ වී.)
2. උන්වහන්සේද බුදුබවට පැමිණ දෙවියන් සහිත ලෝකයා (සසර සයුරෙන්) එතර කරවන සේක්, දහම් නමැති වැස්සෙන් දෙවියන් සහිත ලෝකයා නිවමින් දහම් වැසි වැස්වූ සේක.
3. අසම තෙද ඇති ඒ (සිද්ධත්ථ) බුදුරදුන්ගේද ධර්මාභිසමය තුණක් වූහ. කෝටි ලක්ෂයක් දෙනෙකෙුන්ට පළමු ධර්මාවයබෝධය වී.
4. නැවතද “භිමරථ” නම් නුවරදී යම් කලෙක අමා බෙරය ගැසීද, ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ට දෙවන ධර්මාවබෝධය වී.
5. යම් කාලයෙක ඒ (සිද්ධාර්ත්ථ) බුදුරජතෙම “වෙභාර” නම් උතුම් නුවරදී දහම් දෙසූ සේක්ද, ඒ කාලයෙහි අනූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
6. දෙපා ඇති සත්ත්වයන්ට උතුම්වූ ඒ බුදුරදුන්ටද තාදී ගුණ ඇති සන්හුන් සිත් ඇති රාගාදී කිලුටු නැති කළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.
7. කෙලෙස් කිලුටු නැති (ඒ) රහතුන් වහන්සේලාගේ රැස්වීමෙහි මේ තුන්තැන්ය. කෝටි සියයක් දෙනෙකුන්ගේද, කෝටි අනූවක් දෙනෙකුන්ගේද, කෝටි අසූවක් දෙනෙකුන්ගේද (රැස්වීම්) වූහ.
8. මම ඒ කාලයෙහි උසස් තෙද ඇති, (සතුරෙකු විසින්) යටපත් කළ නොහැකි, අභිඥා බලයෙන් එකඟවූ සිත් ඇති “මඞ්ගල” නම් තවුසෙක් වීමි.
9. මම දඹ ගසින් ගෙඩියක් ගෙනවුත් සිදුහත් බුදුරදුන්ට පිදුවෙමි. සම්බුදුරජ තෙම එය පිළිගෙණ මේ වචනය වදාළ සේක.
10. “උසස්වූ කෙලෙස් තැවීම් ඇති, ජටාමඬුලු දරණ, මේ තාපසයා බලව්. මෙතෙම මේ කල්පයෙන් අනූහතරවන කල්පයෙහි බුදුවන්නේය.”
රම්ය වූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගතයන් වහන්සේ ප්රධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
අජපාල නුග රුක මුල හිඳ තථාගතයන් වහන්සේ එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
ඒ ජිනරාජ තෙමේ නේරඤ්ජරා ගං තෙර හිඳ කිරිපිඬු වළඳා සකස් කළ උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
ඉන්පසු උතුම් වූ බෝධි මණ්ඩලය පැදකුණු කොට මහා යසස් ඇති උන්වහන්සේ ඇසතු බෝ රුක මුල දී බුදු වන්නේය.
“මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
“කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
“ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
“චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
“ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
“යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
“එපරිද්දෙන්ම අපි හැමදෙන මේ සිද්ධත්ථ බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”
12. ඒ (සිද්ධත්ථ) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
13. මහර්ෂීවූ සිදුහත් බුදුරදුන්ගේ (උපන්) නුවර “වේභාර” නම් වී. පියරජ තෙම “උදෙන” නම් වී. වැදූ මව් “පුස්සා” නම් වූවාය.