15. ධම්මදස්සී බුදුරදුන්ගේ වංශය
1. එම මණ්ඩ නම් කල්පයෙහි මහා යසස් (කීර්ති) ඇති “ධම්මදස්සී” නම් බුදුරජ තෙම මොහඳුර නැතිකොට දෙවියන් සහිත ලෝකයෙහි අතිශයින් බැබලී.
2. අපමණ තේජස් ඇති ඒ ධම්මදස්සී බුදුරදුන්ගේ දම්සක් පැවැත්මෙහිදී කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමු ධර්‍මාභිසමය වී.
3. යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම “සඤ්ජය” නම් තාපසයා හික්මවූ සේකද, එදා අනූ කෝටියක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවයබෝධය වී.
4. යම් කාලයෙක සක්දෙව් රජ පිරිස් සහිතව සත්ත්‍වයන් හික්මවන (ධම්මස්සී) බුදුරදුන් කරා එළඹි සේක්ද, එදා අසූ කෝටියක් දෙනෙකුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
5. දෙවියන්ට දෙවිවූ ඒ බුදුරදුන්ටද තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැතිකළ රහතුන් වහන්සේලාගේ සන්නිපාත (රැස්වීම්) තුණක් වූහ.
6. යම් කාලයෙක ධම්මදස්සී බුදුරජතෙම “සරණ” නම් නගරයෙහි වස් එළඹි සේක්ද, එදා කෝටි දහසක් දෙනෙකෙුන්ගේ පළමුවන රැස්වීම වී.
7. නැවතද යම් කාලයෙක්හි බුදුරජතෙමේ දෙව්ලොවින් මිනිස් ලොවට වැඩි සේක්ද, ඒ කාලයෙහිද සියක් කෝටියක් දෙනෙකුන්ගේ දෙවන රැස්වීම වී.
8. නැවතද යම් කාලයෙක්හි බුදුරජතෙම (තෙලෙස්) ධූතගුණයන් ප්‍රකාශ කළ සේක්ද, ඒ කාලයෙහි අසූ කෝටියක් දෙනෙකුන්ගේ තුන්වන රැස්වීම වී.
9. මම ඒ කාලයෙහි “පුරින්‍දද” නම් සක්දෙව් රජෙක් වීමි. දෙව්ලොව හටගත් සුවඳින් හා මලින්ද, පසඟතුරින්ද (බුදුරදුන්) පිදුවෙමි.
10. ඒ බුදුරජතෙමේද දෙවියන් මැද වැඩහිඳ, “මේ සක්දෙව් රජ තෙම අටළොස් සිය කල්පයක්හුගේ මත්තෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
රම්‍ය වූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගතයන් වහන්සේ ප්‍රධාන වීර්‍ය්‍යය වඩා දුෂ්කර ක්‍රියා කොට,
අජපාල නුග රුක මුල හිඳ තථාගතයන් වහන්සේ එහිදී කිරිපිඬු පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
ඒ ජිනරාජ තෙමේ නේරඤ්ජරා ගං තෙර හිඳ කිරිපිඬු වළඳා සකස් කළ උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
ඉන්පසු උතුම් වූ බෝධි මණ්ඩලය පැදකුණු කොට මහා යසස් ඇති උන්වහන්සේ ඇසතු බෝ රුක මුල දී බුදු වන්නේය.
“මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
“කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
“ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
“චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
“ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
“යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
“එපරිද්දෙන්ම අපි හැමදෙන මේ ධම්මදස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”
12. ඒ (ධම්මදස්සී) බුදුරදුන්ගේද වචනය අසා බොහෝ සේ සිත පැහැදවීමි. දස පෙරුම් පිරීම පිණිස මත්තෙහි (පසුව) වතක් ඉටුයෙමි.
13. “ධම්මදස්සී” ශාස්තෲන් වහන්සේගේ (උපන්) නුවර “සරණ” නම් වී. පියතෙම “සරණ” නම් රජය. වැදූ මව් තොමෝ “සුනන්‍දා” නම් වූවාය.