14. අත්ථදස්සී බුදුරදුන්ගේ වංශය
1. එම මණ්ඩ නම් කල්පයෙහි අත්‍ථදස්සී නම් නරදෙටු තෙම මහත්වූ මොහඳුර නසා උතුම් බුදුබවට පැමිණිසේක.
2. බඹහු විසින් අයදනා ලද්දේ, දම්සක් පැවැත්වූ සේක. දසදහසක් සක්වළෙහි දෙවියන් සහිත ලෝකයා අමායෙන් තර්පණය (සෑහීමට පත්) කළ සේක.
3. ඒ අත්‍ථදස්සී ලෝනාහිමිඳුන්ටද ධර්‍මාභිසමය (ධර්‍මය අවබෝධ කිරීම්) තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට පළමුවන ධර්‍මාවබෝධය වී.
4. යම් කලෙක අත්‍ථදස්සී නම් බුදුරජතෙම දෙවචාරිකාවෙහි වැඩි සේක්ද, ඒ කාලයෙහි කෝටි ලක්‍ෂයක් දෙනෙකුන්ට දෙවන ධර්‍මාවබෝධය වී.
5. නැවතද, යම් කලෙක (අත්‍ථදස්සී) බුදුරජතෙම පියාණන් සමීපයෙහිදී දම් දෙසූ සේක්ද, එකළ කෝටි ලක්‍ෂයක් දෙනෙකෙුන්ට තුන්වන ධර්මාවබෝධය වී.
6. මහර්ෂීවූ උන්වහන්සේටද තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු පහකළ රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
7. අනූ අට දහසක් (රහතුන් වහන්සේලාගේ) පළමුවන රැස්වීම වී. අසූ අට දහසක් (රහතුන් වහන්සේලාගේ) දෙවන රැස්වීම වී.
8. උපාදානයන්ගෙන් මිදුනු, කෙලෙස් කිලුටු නැති, මහර්ෂීවූ රහතුන් වහන්සේලා සැත්තෑ දහසකගේ තුන්වන රැස්වීම වී.
9. මම ඒ කාලයෙහි පොළොවෙහි ශ්‍රේෂ්ඨයයි සම්මතවූ, නම්න් “සුසීම” නම්වූ, උසස් ලෙස කෙලෙස් තැවීම් ඇති, ජටිලයෙක් (තවුසෙක්) වීමි.
10. දෙව්ලොව හටගත් මදාරා මල්ද, පියුම්ද, පරසතු මල්ද දෙව්ලොවින් ගෙනවුත් බුදුරදුන් පිදුවෙමි.
11. මහාමුනිවූ ඒ අත්‍ථදස්සී බුදුරජ තෙමේද, “මේ (ජටිල) තෙමේ කල්ප අටළොස් සියයකගේ මත්තෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
12. “ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
13. තථාගතයන් වහන්සේ අජපාල නුගරුක මුල වැඩ හිඳ එහිදී කිරිබත් පිළිගෙන නේරඤ්ජරා නදිය වෙත එළඹෙන්නේය.
14. ඒ ජිනරාජ තෙමේ නේරඤ්ජරා නදී තීරයේදී කිරිබත් වළඳා පිළියෙල කරන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට පැමිණෙන්නේය.
15. ඉන්පසු ඒ අනුත්තර මහා යසස් ඇති බුදුරජ තෙමේ බෝධි මණ්ඩලය පැදකුණු කොට ඇසතු බෝරුක මුලදී බුදුවන්නේය.
16. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
17. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
18. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
19. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
20. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
21. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.
22. “ඉදින් මේ ලෝහිමියාණන්ගේ සස්න වරද්දන්නෙමු නම් අනාගත කාලයෙහි (හෙවත් මතු කාලයෙහි) මුන්වහන්සේ හමුවන්නෙමු.
23. “යම්සේ ගඟක් එතර කරන්නාවූ (හෙවත් පීනන්නාවූ) මිනිස්සු ඉදිරිතොට වැරදී (ගියහොත්) යට තොට ගෙන මහ ගඟ එතර කරත්ද,
24. “එපරිද්දෙන්ම අපි හැමදෙන මේ අත්‍ථදස්සී බුදුරදුන් ඉදින් මුදමු නම් මතු පැමිණෙන කාලයෙහි මේ බෝසතුන් හමුවන්නෙමු.”