11. සුමෙධ බුදුරදුන්ගේ වංශය
1. පදුමුත්තර බුදුරදුන්ට පසු කාලයෙහි (සතුරෙකුට) නොළංවිය හැකි, උසස් තෙද ඇති, සියලු ලෝකයාට උතුම්වූ, සියල්ල දත් සුමෙධ ලෝනා හිමිඳු වී.
2. පහන් නෙත් ඇති, පිරිපුන් මුහුණු ඇති, ගුණයෙන් මහත්වූ, අවංකවූ, බබලන සිරුරක් ඇති, සියලු සතුන්ට වැඩ සිදුකරණ, බොහෝ දෙනා සසර බැඳුමෙන් මිදූ සේක.
3. යම් කලෙක බුදුරජතෙම පිරිසිදු උතුම් සම්බෝධියට පැමිණ, සුදස්සන නුවරෙහිදී දම්සක් පැවැත්වීද,
4. උන්වහන්සේගේ (ඒ) දම්දෙසුමෙහිදී ධර්මාවබෝධවීම් තුණක් වූහ. (එයින්) කෝටි ලක්‍ෂයක් දෙනාට පළමුවන ධර්‍මාවබෝධය වී.
5. නැවතද ඒ ජිනරාජතෙම කුම්භකර්‍ණ නම් යක්‍ෂයා දමනය කළ සේක්ද, කෝටි අනූ දහසක් දෙනාට දෙවැනි ධර්‍මාවබෝධය වී.
6. නැවතද, අපමණ පිරිවර ඇති බුදුරජතෙම සිවුසස් දෙසූ සේක්ද, අසූ කෝටියක් දෙනාට තුන්වන ධර්‍මාවබෝධය වී.
7. මහර්ෂීවූ සුමෙධ බුදුරජ පිළිබඳ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
8. යම් කලෙක ජිනරාජයන් වහන්සේ “සුදස්සන” නම් උතුම් නුවරට වැඩි සේක්ද, ඒ කාලයෙහි ආශ්‍රවයන් ක්‍ෂය කළ (රහත්වූ) භික්‍ෂූහු සියක් කෝටියක් රැස්වූහ.
9. ඒ කාලයෙහි නැවතද, “දේව” නම් පර්‍වතයෙහි භික්‍ෂූන්ට කඨින සිවුර ඇතිරීමේදී අනූ කෝටියක් රහත් භික්‍ෂූන්ගේ දෙවන රැස්වීම වී.
10. නැවතද, දසබලධාරී බුදුරජතෙම යම් කලෙක චාරිකාවෙහි වැඩි සේක්ද, ඒ කාලයෙහි අනූ කෝටියකගේ තුන්වන රැස්වීම වී.
11. මම ඒ කාලයෙහි “උත්තර” නම් මානවකයෙක් වීමි. මාගේ ගෙයි අසූ කෝටියක් ධනය රැස්කොට තබන ලදී.
12. (ඒ) සියල්ල සංඝයා සහිත ලෝනාහිමි බුදුරදුන්ට පුදා ඒ බුදුරදුන්ගේ සරණ ගියෙමි. පැවිද්ද කැමති වීමි. (හෙවත් පැවිදිවූයෙමි.)
13. ඒ බුදුරජතෙම අනුමෝදනාවක් කරමින්, “මේ තෙම කල්ප තිස් දහසක් ගිය කල බුදුවන්නේය” යි මා ගැණ ප්‍රකාශයක් කළ සේක.
14. රම්‍ය වූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙමේ ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කරන්නේය.
15. අජපාල නුග රුක මුල හිඳ තථාගත තෙමේ එහි දී කිරිපිඬු ගෙන නේරංජරාව වෙත එළඹෙන්නේය.
16. නේරංජරා තෙර දී කිරිපිඬු වළඳා ඒ ජින තෙමේ සරසන ලද උතුම් මගින් බෝ මැඩ වෙත එන්නේය.
17. ඉන්පසු බෝ මැඩ පැදකුණු කොට ඒ අසමසම මහා යසස් ඇති (ගෞතම) සම්බුදු රජ ඇසතු ගස මුල දී බුදු වන්නේය.
18. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
19. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
20. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
21. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
22. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
23. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.