12. සුජාත බුදුරදුන්ගේ වංශය
1. එම මණ්ඩ කල්පයෙහි සීහහනු (සිංහයෙකුගේ හනුවකට බඳු හනුවක්) ඇති, දෙටු ගවයකුගේ කඳට බඳු සමට වටවූ කඳ ඇති, අපමණ තෙද ඇති, (සතුරන් විසින්) ළංවිය නොහැකි සුජාත නම් බුදුවරයෙක් වී.
2. සඳ මෙන් නිමල්වූ, හිරු මෙන් ප්‍රතාප ඇති, බුදු සිරින් හැම කල දිලිසෙන උන්වහන්සේ මෙසේ බබලන සේක.
3. සම්බුදුරජතෙම පිරිසිදු උතුම් සම්බෝධිය (සර්‍වඥතාඥානය) ට පැමිණ සුමඞ්ගල නුවරදී දම්සක් පැවැත්වී.
4. සුජාත නම් ලෝනා හිමි පළමු දම් දෙසුමෙහිදී උතුම් දහම් දෙසු කල්හි අසූ කෝටියක් දෙනා ධර්මාවබෝධය කළහ.
5. යම් කලෙක අපමණ යසස් ඇති සුජාත බුදුරජතෙම දෙව්ලොව වස් එළඹි සේක්ද, (එකල) තිස්හත් දහසකට දෙවන ධර්මාවබෝධය වී.
6. යම් කලෙක අසමසමවූ සුජාත බුදුරජතෙම පියාණන් වෙතට එළඹි සේක්ද, සැට ලක්‍ෂයක් දෙනාට තුන්වන ධර්මාවබෝධය වී.
7. මහර්ෂිවූ සුජාත බුදුරදුන්ට තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, රාගාදී කිලුටු නැති, රහතුන් වහන්සේලාගේ රැස්වීම් තුණක් වූහ.
8. අභිඤ්ඤාවෙන් බලයට පැමිණි භවයක් පාසා නොපැමිණි, සැට ලක්‍ෂයක් රහත් භික්‍ෂූහු පළමුවර රැස්වූහ.
9. නැවතද, ජිනරාජයන් දෙව්ලොවින් බස්නා කල්හි පණස් ලක්‍ෂයක් දෙනාගේ දෙවනවර රැස්වීම වී.
10. ඒ බුදුරදුන්ගේ යම් (සුදස්සන නම්) අග්‍ර ශ්‍රාවකයෙක් නරදෙටු සම්බුදුන් කරා එළඹෙන්නේ, සාර ලක්‍ෂයක් භික්‍ෂූන් සමග එළඹීද, (එදින තුන්වන රැස්වීම වී.)
11. මම ඒ කාලයෙහි සතර මහ දිවයිනෙහි ඉසුරු (අධිපති)වූ, (සත්රුවන පෙරටුකොට) අහසෙහි හැසිරෙන, මහ බලැති සක්විති රජෙක් වීමි.
12. ඒ මම ලෝකයෙහි පුදුමයද, අද්භූතයද, ලොමු දැහැගැනුමද දැක, සුජාත නම් ලෝනාහිමිඳුන් කරා එළඹ වැන්දෙමි.
13. සතර මහ දිවයිනෙහි මහ රජයද, උතුම් සත්රුවන්ද බුදුරදුන්ට පූජාකොට, ඒ (සුජාත) බුදුරදුන්ගේ සමීපයෙහි පැවිදිවිමි.
14. අරම් වැස්සෝ ජනපදයෙන් උපදනා අය රැස්කර ගෙණ, සිවුරු ආදී පසද, සෙනසුන්ද, බික්සඟනට එළවත්.
15. දසදහසක් සක්වළෙහි ඉසුරු (අධිපති)වූ, ඒ (සුජාත) බුදුරජතෙමේ, “මේ (රජ) තෙම කප් තිස් දහසකින් මත්තෙහි බුදු වන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
16. “ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කොට මහත් යසස් ඇති (ගෞතම) සම්බුදු රජ (නම්න්) ඇසතු ගසක් මුලදී බුදුවන්නේය.
17. තථාගතයන් වහන්සේ අජපාල නුගරුක මුල වැඩ හිඳ එහිදී කිරිබත් පිළිගෙන නේරඤ්ජරා නදිය වෙත එළඹෙන්නේය.
18. ඒ ජිනරාජ තෙමේ නේරඤ්ජරා නදී තීරයේදී කිරිබත් වළඳා පිළියෙල කරන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට පැමිණෙන්නේය.
19. ඉන්පසු ඒ අනුත්තර මහා යසස් ඇති බුදුරජ තෙමේ බෝධි මණ්ඩලය පැදකුණු කොට ඇසතු බෝරුක මුලදී බුදුවන්නේය.
20. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
21. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
22. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
23. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”