10. පදුමුත්තර බුදුරදුන්ගේ වංශය
1. නාරද බුදුරජුන්ට පසු කාලයෙහි බුදුබවට පැමිණි දෙපා ඇති සතුන්ගෙන් උතුම්වූ නොකැළඹුනු සයුරකට බඳු උපමා ඇති පදුමුත්තර (පියුමතුරා) ජිනරාජයන් වහන්සේ විය.
2. යම් කල්පයක එක සම්බුදුවරයන් වහන්සේ නමක් උපදීද, ඒ කල්පයම මණ්ඩ කල්පය වෙයි. කුසල් ඇති ජන සමූහයා ඒ කාලයෙහි උපදී.
3. පදුමුත්තර භාග්‍යවත්හුගේ පළමුවන දම්දෙසුමෙහිදී කෝටි ලක්‍ෂයක් දෙනාට ධර්‍මාවබෝධය වී.
4. ඉන්පසුද දහම් වැසි වස්නා කල සත්ත්‍වයන් තැවෙන කල්හි තිස්හත් ලක්‍ෂයක් දෙනාට දෙවන ධර්‍මාවබෝධය වී.
5. මහාවීරවූ බුදුරජතෙම යම් කාලයෙක “ආනන්‍ද” නම් පියරජු කරා එළඹි සේක්ද, පියරජු වෙතට එළඹ අමා බෙරය ගැසීද, (නිවන සොයාගත් බව දැන්වීද)
6. අමා බෙරය ගැසූ කල්හි දහම් නමැති වැස්ස වසින කල්හි පණස් ලක්‍ෂයකට තුන්වන ධර්‍මාවබෝධය වී.
7. සියලු සත්ත්‍වයන්ට (සරණ සිල් ආදීන්ගේ අනුසස් දැක්වීමෙන්) අවවාද කරන්නාවූ (සිවුසස්) අවබෝධ කරවන, චතුරෝඝයයෙන් සත්ත්‍වයන් එතර කරණ ධර්‍ම දේශනාවෙහි දක්‍ෂ (පදුමුත්තර) බුදුරජතෙම බොහෝ ජන සමූහයා (බව සයුරෙන්) එතර කළ සේක.
8. පදුමුත්තර බුදුරජුන්ට (ශ්‍රාවකයන්ගේ) රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්‍ෂයක් දෙනාගේ පළමුවන සමාගමය වී.
9. යම් කලෙක අසම සමවූ බුදුරජතෙම වේභාර පර්‍වතයෙහි විසූ සේක්ද, (එකල) කෝටි අනූ දහසක් දෙනාගේ තුන්වන සමාගමය වී.
10. නැවත සැරිසරා වැඩිය කල්හිදී කෝටි අසූ දහසක් දෙනාගේ තුන්වන සමාගමය වී.
11. මම ඒ කාලයෙහි “ජටික” නම් රට වැසියෙක් වීමි. බුදුපාමොක් සඟන වෙත ආහාර සහිත සිවුරු පිදුවෙමි.
12. ඒ බුදුරජතෙමේද සඟමැද වැඩහිඳ, “මේ (ජටික) තෙම මෙයින් ලක්‍ෂයක් වන කල්පයෙහි බුදුවන්නේය” යි මා ගැන ප්‍රකාශයක් කළ සේක.
13. රම්‍ය වූ කපිලවස්තු පුරයෙන් නික්ම තථාගත තෙමේ ප්‍රධාන වීර්‍ය්‍යය හා දුෂ්කරක්‍රියාවද කරන්නේය.
14. අජපාල නුග රුක මුල හිඳ තථාගත තෙමේ එහි දී කිරිපිඬු ගෙන නේරංජරාව වෙත එළඹෙන්නේය.
15. නේරංජරා තෙර දී කිරිපිඬු වළඳා ඒ ජින තෙමේ සරසන ලද උතුම් මගින් බෝ මැඩ වෙත එන්නේය.
16. ඉන්පසු බෝ මැඩ පැදකුණු කොට ඒ අසමසම මහා යසස් ඇති (ගෞතම) සම්බුදු රජ ඇසතු ගස මුල දී බුදු වන්නේය.
17. “මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
18. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්‍ර ශ්‍රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්‍ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
19. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්‍ර ශ්‍රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්‍යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
20. “චිත්තා” ද, “හත්‍ථාලක” ද යන අග්‍ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්‍දමාතා” ද, “උත්තරා” ද යන අග්‍ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.”
21. අසමවූ, මහර්ෂීවූ (ඒ) බුදුරදුන්ගේ මේ වචනය අසා සතුටු සිත් ඇති දෙවි මිනිස්සු මේ බුදුපැලයෙකැ (බුදුවන බෝසතෙකැ)යි,
22. දස දහසක් සක්වළ දෙවියන් සහිත ලෝවැස්සෝ කුහුල්හඬ (සතුටින් පවත්වන මහත් හඬ) පවත්වත්. අත්පොලසන් දෙත්. සතුටින් සිනහසෙත්. කළ ඇඳිලි ඇත්තේ නමස්කාර කරත්.