9. නාරද බුද්ධවංසො
1. පදුම බුදුරජුන්ට පසුකාලයෙහි දෙපා ඇති සතුන්ට උතුම්වූ, අසමවූ, සමාන පුද්ගලයෙක් නැති, නම්න් “නාරද” නම්වූ සම්බුදු රජතෙම වී.
2. ඒ (නාරද) බුදුරජතෙම සක්විති රජුගේ ළයෙහි වැඩුණු ආදරණීය දෙටුපුත්ය. පළඳින ලද මාලාභරණ ඇත්තේ (ධනඤ්ජය නම්) උයනට එළඹියේය.
3. ඒ උයනෙහි ලෝකයෙහි ප්රසිද්ධවූ, දැකුම්කළු (හොඳින් වැඩුණු) මහත් පිවිතුරු (රත්තොටිල) ගසක් විය. ඒ ගස කරා පැමිණ මහ රත්තොටිල ගස යට හුන්නේය.
4. ඒ තොටිල ගස මුලදී වජ්රයකට බඳු (හෙවත් තියුණුවූ) පමණ කළ නොහැකි සර්වඥතාඥානය උපනි. ඒ ඥානයෙන් ඇතිවීම් වශයෙන් (සියලු) සංස්කාරයන් විමසීම කෙළේය.
5. ඒ තොටිල ගස මුලදී සියලු කෙලෙසුන් ඉතුරු නොකොට විනාශයට පැමිණවී. හුදෙක් (තණි) රහත් මග නුවණටද, තුදුස් බුදු නැණටද පැමිණි සේක.
6. (උන්වහන්සේ) බුදුබවට පැමිණ දම්සක් පැවැත්වූ සේක. කෝටි ලක්ෂයක් දෙනාට පළමුවන ධර්මාවබෝධය වී.
7. ඒ කාලයෙහි (නාරද) මහමුනිසඳු, “මහාදොණ” නම් නාගරාජයා හික්මවමින් දෙවියන් සහිත ලෝකයා දක්වමින් (යමාමහ) පෙළහරක් කළ සේක.
8. ඒ කාලයෙහි (කළ) ඒ දම්දෙසුමෙහිදී කෝටි අසූ දහසක් දෙවි මිනිස්සු සියලු සැක දුරු කළහ.
9. මහාවීරවූ (නාරද) බුදුරජතෙම යම් කාලයක සිය පුතුට අවවාද කළ සේක්ද, (ඒ කාලයෙහි) කෝටි අසූ දහසක් දෙනාට තුන්වන ධර්මාවබෝධය වී.
10. මහර්ෂීවු නාරද බුදුරජුන්ට ශ්රාවකයන්ගේ රැස්වීම් තුණක් වූහ. කෝටි ලක්ෂයක් දෙනාගේ පළමුවන සමාගමය වී.
11. යම් කාලයෙක (නාරද) බුදුරජතෙම බුදුගුණ කරුණු සහිතව ප්රකාශ කළ සේක්ද, එදා කෝටි අනූදහසක් රහතුන් වහන්සේලා (දෙවන වර) රැස්වූහ.
12. යම් කාලයෙක “වෙරොචන” නම් නාගරාජ තෙම ශාස්තෲන් වහන්සේට දානයක් දුන්නේද, එදා අසූ ලක්ෂයක් පමණ ජිනපුත්රයෝ (රහත්හු) තුන්වන වර රැස්වූහ.
13. මම ඒ කාලයෙහි දැඩිලෙස කෙලෙස් තැවූ, පඤ්චාභිඥාවන්හි පරතෙරට පැමිණි, අහසෙහි ගමන්කරන ජටිලයෙක් (ජටා බැඳි තවුසෙක්) වීමි.
14. ඒ කාලයෙහිද මම සඞ්ඝයා සහිතවූ පිරිවර ඇති උපාසක ජනයා සහිතවූ අසමසමවූ බුදුරජුන් ආහාරපානයෙන් (වළඳවා) සඳුනෙන් මනාව පිදුවෙමි.
15. ලෝනාහිමිවූ ඒ නාරද බුදුරජතෙමේ (මේ ජටිල) තෙම මෙයින් අපමන කපෙහි බුදුවන්නේයයි මා (ගැණ) ප්රකාශයක් කළ සේක.
16. තථාගතයන් වහන්සේ රම්ය වූ කිඹුල්වත් පුරයෙන් නික්ම, ප්රධාන වීර්ය්යය වඩා දුෂ්කර ක්රියා කොට,
17. අජපාල නුග රුක මුල හිඳගෙන, එහි දී කිරිපිඬු දානය පිළිගෙන නේරඤ්ජරා ගඟට එළඹෙන්නේය.
18. නේරඤ්ජරා ගං තෙර හි දී කිරිපිඬු වළඳා ඒ ජිනරාජ තෙමේ සරසන ලද උතුම් මාර්ගයෙන් බෝධි මූලයට එළඹෙන්නේය.
19. ඉක්බිති අනුත්තර වූ මහා යසස් ඇති මුනිඳු බෝධි මණ්ඩලය පැදකුණු කොට ඇසතු ගසක් මුල දී බුදුවන්නේය.
20. මොහුගේ වදන මව් තොමෝ “මායා” නම් වන්නීය. පියතෙම “සුදොවුන්” නම් රජතෙම වන්නේය. මේ තෙම ගෞතම නම් ඇත්තෙක් වන්නේය.
21. “කෝලිත” ද, “උපතිස්ස” ද යන අග්ර ශ්රාවකයෝ දෙදෙනෙක් වන්නාහ. “ආනන්ද” නම් උපස්ථායක කෙනෙක් ඒ ජිනරාජයන්ට උවටැන් කරන්නේය.
22. “ඛෙමා” ද, “උප්පලවණ්ණා” ද යන අග්ර ශ්රාවිකාවෝ දෙදෙනෙක් වන්නාහ. ඒ භාග්යවත්හුගේ බෝගස ඇතු රුකයයි කියනු ලැබේ.
23. “චිත්තා” ද, “හත්ථාලක” ද යන අග්ර උපස්ථායකයෝ දෙදෙනෙක් වන්නාහ. “නන්දමාතා” ද, “උත්තරා” ද යන අග්ර උපස්ථායිකාවෝ දෙදෙනෙක්ද වන්නාහ. යසස් ඇති (ඒ) ගෞතම බුදුරජහුගේ ආයුෂය අවුරුදු සියයකි.