90. පදුමපුප්ඵිය ථේරාපදානය
1547. “මම නෙළුම් වනයට (පොකුණකට) පිවිසියේ, මල් බිඳින්නේ (ගලවන්නේ) දෙතිස් මහ පුරිස් ලකුණෙන් යුත් ඵුස්ස බුදුරජාණන් වහන්සේ දුටිමි.
1548. “මම නෙළුම් මල් ගෙන (එම බුදුරදුන් උදෙසා) අහසට දැමීමි. (හෙතෙම එම) ප්‍රසන්න කර්‍මය (පින්කම) කොට අනාගාර්‍ය්‍ය නම්වූ ශාසනයෙහි පැවිදිවීමි.
1549. “පැවිදිට සංවරණය කළාවූ කයින්ද, සිතින්ද යුතුව වාග් දුශ්චරිතය හැර ආජීවය පිරිසිදු කෙළෙමි
1550. “මින් දෙයානූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
1551. “කල්ප අටළොසක පදුමාභාස නම්වූ අටළොස් රජ කෙනෙක් වූහ. (එසේම) අටසාළිස් රජකෙනෙක්ද වූහ.
1552. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුමපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පදුමපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
උද්දානය:
තිමිර, නංගලීපුප්ඵිය, නිපන්නඤ්ජලික, අධොපුප්ඵිය, රංසිසඤ්ඤක දෙනම ද, ඵලදායක, සද්දසඤ්ඤක, බොධිසිඤ්චක සහ පදුමපුප්ඵිය ද යැයි ගාථාවෝ පනස් හයක් කීර්තනය කරන ලදහ.
තිමිරවග්ගො නවමො.
10. සුධාපිණ්ඩිය වග්ග
91. සුධාපිණ්ඩිය ථේරාපදානය.
1553. පිදීමට සුදුසුවූ, කෙළෙස් (පමා දොස්) ඉක්මවූ, තරණය කළ (තුනී කළ) ශෝක පරිදේව (දුක්) ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරහි හෝ පුදන්නහුට,
1554. (හෙවත්) (කෙළෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නාවූ ඔවුනට (ලැබෙන) පින මෙපමණයයි කිසිවකින් පමණ කිරීමට (මැණීමට) නොහැකිය.
1555. යමෙක් (මේ ලෙව්හි) සිව්මහ දිවයිනට ඉසුරු රජය කරවන්නේද, (එය) මෙබඳු එක පියුමක් සොළොස්වෙනි කලාවකටද නොඅගී.
1556. සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදිලි සිතින් සුණු පිඩක් දෙන ලදී.
1557. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් (පින්) කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිළිසකරයෙහි (ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකයයි.
1558. මින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසංඛාර නම්වූ සක්විති රජවරු දහතුන් දෙනෙක් වූහ.
1559. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුධාපිණ්ඩිය ථේරාපදානය පළමුවැනියි.