10. සුධාපිණ්ඩිය වග්ග
91. සුධාපිණ්ඩිය ථේරාපදානය.
1553. පිදීමට සුදුසුවූ, කෙළෙස් (පමා දොස්) ඉක්මවූ, තරණය කළ (තුනී කළ) ශෝක පරිදේව (දුක්) ඇති බුදුරජුන් කෙරෙහි හෝ සව්වන් කෙරහි හෝ පුදන්නහුට,
1554. (හෙවත්) (කෙළෙස් පිරිනිවනින්) පිරිනිවි බිය නැති එබඳු උතුමන් කෙරෙහි පුදන්නාවූ ඔවුනට (ලැබෙන) පින මෙපමණයයි කිසිවකින් පමණ කිරීමට (මැණීමට) නොහැකිය.
1555. යමෙක් (මේ ලෙව්හි) සිව්මහ දිවයිනට ඉසුරු රජය කරවන්නේද, (එය) මෙබඳු එක පියුමක් සොළොස්වෙනි කලාවකටද නොඅගී.
1556. සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේගේ සෑයෙහි පැළුම් අතර මා විසින් පැහැදිලි සිතින් සුණු පිඩක් දෙන ලදී.
1557. මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් (පින්) කමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පිළිසකරයෙහි (ප්‍රතිසංස්කරණයෙහි) මේ විපාකයයි.
1558. මින් තිස්වන කපෙහි සත්රුවනින් යුත් පටිසංඛාර නම්වූ සක්විති රජවරු දහතුන් දෙනෙක් වූහ.
1559. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුධාපිණ්ඩිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුධාපිණ්ඩිය ථේරාපදානය පළමුවැනියි.
92. සුචින්තිත ථේරාපදානය.
1560. මම සියල්ල දත් තිස්ස බුදුරජුන්හට තුටුවූයේ, තුටු සිතින්ම (සිලිටි දැව මුවා අනගි) පිරිසිදු පුටුවක් පිදීමි.
1561. මින් අට තිස්වන කපෙහි මහාරුචි නම් රජෙක් වීමි. (ඔහුට) බොහෝවූ සයනාසනද, මහත්වූ භෝගද ඇත්තේ විය.
1562. පිරිසිදු සිතින් බුදුරජාණන් වහන්සේට පුටුවක් දී තමා විසින් පෙර මැනවින් කළ (ඒ) ස්වකීය (පුණ්‍ය) කර්‍මය අනුභව කරමි.
1563. මින් දෙනූවන කපෙහිවූ එකල්හි යම් පුටුවක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පීඨ දානයාගේ මේ විපාකයයි.
1564. මින් අටතිස්වන කපෙහි රුචිය, උපරුචිය, මහා රුචිය යයි සක්විති රජවරු තිදෙනෙක් වුහ.
1565. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුචින්තිත ථේරාපදානය දෙවැනියි.
93. අඩ්ඪචෙලක ථේරාපදානය.
1566. මම සියල්ල දත් තිස්ස බුදුරජාණන් වහන්සේට (සිව්රු පිණිස) රෙදි කැබැල්ලක් දුනිමි. දුගඳින් යුත් මම අතිශය දුකට පත්වූයේ වෙමි.
1567. මම (සිව්රු පිණිස මෙම) රෙදි කැබැල්ල පුදා කල්පයක් මුළුල්ලෙහි ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුශල් කරණ ලදී.
1568. මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් වස්ත්‍රයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
1569. එකුන් පණස්වන කපෙහි ජනාධිපතිවූ සමන්ත ඡදන නම් දොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
1570. මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අඩ්ඪචෙලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අඩ්ඪචෙලක ථේරාපදානය තෙවැනියි.