64. පරප්පසාදකත්ථෙරාපදානං
“ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂිවූ, කෙළෙස් සතුරන් ජයගන්නා සුළුවූ, ස්වර්‍ණවර්‍ණවූ බුදුරජුන් දැක කවරෙක් (නම්) නොපහදීද?
“ප්‍රමාණකළ නොහැකි හිමවත් පව්ව යම් සේද, තරණයකළ නොහැකි සාගරය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ධ්‍යානයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“ප්‍රමාණ කළ නොහැකි පෘථිවිය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ශීලයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“නොකැළඹිය හැකි සයුර යම් සේද, පමණකළ නොහැකි අහස යම් සේද, බුදුරජාණන් වහන්සේගේ කාරණය (ප්‍රඥාව) ද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“සෙන නම්වූ බ්‍රාහ්මණ තෙමේ මේ සිව් ගයින් සිද්‍ධාර්ත්‍ථ නම් පස් මරුන් දිනූ බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට ස්තූතිකොට,
“සිව් අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේය. සුගතීන්හි බොහෝවූ මනා සම්පත් අනුභව කෙළේය.
“මෙයින් සිව් අනූවන කපෙහි ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේට පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
“තුදුස්වන කපෙහි සත් රුවණින් යුත් මහත් බල ඇති ‘උග්ගත’ නම් සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පරප්පසාදකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
65. භිසදායකත්ථෙරාපදානං
“නම්න් වෙස්සභූ නම් වූ බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් (විපස්සී - සිඛී - වෙස්සභූ) විය. පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම මහ වනයට පිවිස (එහි) විසීය.
“නෙළුම්ද, නෙළුම් දඬුද ගෙන බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන්වූයේ සියතින් එය බුදුරජාණන් වහන්සේට පිදීමි.
“උතුම් නුවණැති වෙස්සභූ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පරාමර්‍ශනය කරන (පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නොදනිමි. එයට වැඩි සැපයෙක් නම් කොයින්ද?
“සියලු භවයෝ නසන ලදහ. මාගේ අන්තිම භවය වේ. (එකල) හස්ති රාජයෙකු වු මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරණ ලදී.
“මින් තිස් එක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. නෙලුඹල දානයාගේ මේ විපාකයයි.
“තෙළෙස්වන කපෙහි මහත් බල ඇති සමොධාන නම්න් මනුෂ්‍යාධිපතිවූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් භිසදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
භිසදායකත්ථෙරස්ස අපදානං පඤ්චමං.
66. සුචින්තිතත්ථෙරාපදානං
“(මම) විශිෂ්ඨ ජන්ම ඇති කේශර සිංහරාජයෙකු වැනි ගිරිදුර්‍ගයන්හි හැසිරෙන නෙසාදයෙක් වීමි. මෘග සමූහයා මරාගෙන කඳු අතරෙහි ජීවත්වෙමි.
“සර්‍වඥවූ, කථාකරන්නවුනට ශ්‍රේෂ්ඨවූ, ඒ අත්‍ථදස්සී භාග්‍යවත් තෙම මා (පවින්) නගාසිටුවනු කැමැත්තේ උතුම් පර්‍වතයට වැඩි සේක.
“පසද මෘගයෙකු මරා අනුභව කිරීමට එළඹියෙමි. එසමයෙහි භාග්‍යවත් තෙම පිඬු සිඟමින් (එතැනට) වැඩි සේක.
“(එහි) උතුම් මස් ගෙන එම ශාස්තෲන් වහන්සේට දුනිමි. මහාවීරවූ බුදුරජාණන් වහන්සේ එකල්හි මාගේ (සිත) නිවමින් අනුමෝදනා කළ සේක.
“මම එම චිත්තප්‍රසාදයෙන් (යුතුව) ගිරිදුර්‍ගයට පිවිසියෙමි. ප්‍රීතිය උපදවා (මම) එහි කළුරිය කෙළෙමි.
“මෙම මස් දන කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනාවන්) කරණකොට ගෙනද එක් දහස් පන්සියවන කපෙහි දෙව්ලොවෙහි සිත් අලවා විසීමි.
“අවෂෙශ කල්පයන්හිද මා විසින් කුසල් රැස් කරණ ලදී. මම මාගේ දානයෙන්ද, බුදු ගුණ සිහි කිරීමෙන්ද,
“අටතිස්වන කපෙහි දීඝායු නම් වූ රජවරු අටදෙනෙක් වූහ. මින් කල්ප සදහසකින් පෙර වරුණ නම්න් දෙව් රජ කෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචින්තිත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සුචින්තිතත්ථෙරස්ස අපදානං ඡට්ඨං.