62. අවොපුප්ඵියත්ථෙරාපදානං.
“(සිඛී බුදුරජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍ය ප්‍රකාශ කරන්නේ, අමෘත පදය (නිර්‍වාණ ධර්‍මය) දේශනා කරයි.
“තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙනවුත් අහසෙහි විසිරවීමි.
“විපදොත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය හේතුකොට ගෙන, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
“මින් එක් තිස්වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුකොට ගෙන) දුගතියක් නොදනිමි. මල් පූජාවේ මේ විපාකයයි.
“මින් විසිවන කපෙහි සත් රුවණින් යුත්, මහත් බල ඇති, සුමේධ නම් සක්විති රජෙක් වීමි.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවොපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අවොපුප්ඵියත්ථෙරස්ස අපදානං දුතියං.
63. පච්චාගමනියත්ථෙරාපදානං
“මම එකල්හි සුගන්‍ධ නදී තීරයෙහි පිරිසිදු සෙවෙල් අනුභව කරන්නාවූ, පාපයන් (කිරීමෙහි) සංසුන්වූ, සක්වා ලිහිණියෙක් වීමි.
“(එකල්හි) කෙළෙස් මල නැත්තාවූ, අහස් මගෙහි ගමන් කරන්නාවූ, බුදුරජුන් දිටිමි. (දැක) හොටින් සල්මලක් ගෙනවුත් (එම) විපස්සි බුදුරජාණන් වහන්සේට පිදීමි.
“යමෙකුගේ ශ්‍රද්‍ධා තොමෝ තථාගතයන් වහන්සේ විෂයෙහි නිශ්චලව පිහිටියාද, එම චිත්ත ප්‍රාසාදය හේතුකොටගෙන හෙතෙම දුගතියකට නොයෙයි. (විපස්සී බුදුරජ තෙම වදාළ සේක)
“ඒකාන්තයෙන් බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ මනා පැමිණීමක් විය. (සක්වා) ලිහිණියෙකුවූ මා විසින් මනා (කුශල) බීජයක් රෝපණය කරන ලදී.
“මින් එක් අනූවන කපෙහි යම් මලක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
“සතළොස්වන කපෙහි සුවාරුස්සන නම් මේ එකී නම් ඇති මහා බලවත්වූ සක්විති රජවරු අට දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පච්චාගමනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පච්චාගමනියත්ථෙරස්ස අපදානං තතියං.
64. පරප්පසාදකත්ථෙරාපදානං
“ශ්‍රේෂ්ඨවූ, උතුම්වූ, වීරවූ, මහර්ෂිවූ, කෙළෙස් සතුරන් ජයගන්නා සුළුවූ, ස්වර්‍ණවර්‍ණවූ බුදුරජුන් දැක කවරෙක් (නම්) නොපහදීද?
“ප්‍රමාණකළ නොහැකි හිමවත් පව්ව යම් සේද, තරණයකළ නොහැකි සාගරය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ධ්‍යානයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“ප්‍රමාණ කළ නොහැකි පෘථිවිය යම් සේද, බුදුරජාණන් වහන්සේගේ ශීලයද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“නොකැළඹිය හැකි සයුර යම් සේද, පමණකළ නොහැකි අහස යම් සේද, බුදුරජාණන් වහන්සේගේ කාරණය (ප්‍රඥාව) ද එසේමය. (උන්වහන්සේ) දැක කවරෙක් නම් නොපහදීද?
“සෙන නම්වූ බ්‍රාහ්මණ තෙමේ මේ සිව් ගයින් සිද්‍ධාර්ත්‍ථ නම් පස් මරුන් දිනූ බුද්ධ ශ්‍රේෂඨයන් වහන්සේට ස්තූතිකොට,
“සිව් අනූ කපක් මුළුල්ලෙහි දුගතියක නූපන්නේය. සුගතීන්හි බොහෝවූ මනා සම්පත් අනුභව කෙළේය.
“මෙයින් සිව් අනූවන කපෙහි ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේට පසසා (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පැසසීමෙහි මේ විපාකයයි.
“තුදුස්වන කපෙහි සත් රුවණින් යුත් මහත් බල ඇති ‘උග්ගත’ නම් සක්විති රජවරු සිව් දෙනෙක් වූහ.
“මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පරප්පසාදක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පරප්පසාදකත්ථෙරස්ස අපදානං චතුත්ථං.
65. භිසදායකත්ථෙරාපදානං
“නම්න් වෙස්සභූ නම් වූ බුදුවරයන් අතුරෙහි තෙවැන්නෙක් (විපස්සී - සිඛී - වෙස්සභූ) විය. පුරුෂොත්තමවූ ඒ බුදුරජතෙම මහ වනයට පිවිස (එහි) විසීය.
“නෙළුම්ද, නෙළුම් දඬුද ගෙන බුදුරජාණන් වහන්සේගේ සමීපයට ගියෙමි. පහන්වූයේ සියතින් එය බුදුරජාණන් වහන්සේට පිදීමි.
“උතුම් නුවණැති වෙස්සභූ බුදුරජාණන් වහන්සේ විසින් තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන් පරාමර්‍ශනය කරන (පිරිමදින) ලද්දාවූ මම ඒ හා සමාන සැපයක් නොදනිමි. එයට වැඩි සැපයෙක් නම් කොයින්ද?
“සියලු භවයෝ නසන ලදහ. මාගේ අන්තිම භවය වේ. (එකල) හස්ති රාජයෙකු වු මා විසින් කුසල් බිජුවටක් රෝපණය කරණ ලදී.