56. සපරිවාරාසන ථේරාපදානය
43. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි. ගොස් වළඳන ස්ථානය බෝලිද්ද මල්වලින් වට කෙළෙමි. (සැරසීමි.)
44. “ලෝකයෙහි අග්‍ර නායකවූ වැඩහුන්නේ ඎජු ගුණ ඇති, සන්සුන්වූ බුදුරජ තෙම එම අසුනෙහි වැඩහුන්නේ එම පිණ්ඩපාතය (පිළිබඳ තොරතුරු) ප්‍රකාශ කෙළේය.
45. “යම් සේ මනා කෙතෙක රෝපනය කරණ ලද ස්වල්පවූද බීජය මැනවින් වැසි වස්නා කල්හි (ඇතිවන සශ්‍ය) ඵල ගොවියා සතුටු කරයි.
46. “එසේම පිණ්ඩපාතය තා විසින් මනා කෙතෙක රෝපනය කරණ ලදී. භවයෙහි උපදින්නාවූ හේ (එම කර්මයාගේ) ඵල වශයෙන් සතුටු වන්නේය.”
47. “පදුමුත්තර නම්වූ බුදුරජතෙම මෙය වදාරා පිණ්ඩපාතයට පසසා උතුරු දෙසට මුහුණ ලා වැඩි සේක.
48. “ප්‍රතිමොක්‍ෂයෙහිද, පසිඳුරන් විෂයෙහිද, සංවෘතවූයේ ප්‍රකර්‍ෂ විවේකයෙහි යෙදුනේ ආශ්‍රව රහිතව වෙසෙමි.
49. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සපරිවාරාසන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සපරිවාරාසනත්ථෙරස්සාපදානං ඡට්ඨං.
57. පඤ්චදීපක ථේරාපදානය
50. “මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පීවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනාව පිහිටා ඎජුවූ දෘෂ්ටි ඇත්තේ වීමි.
51. “බෝධිය වටකොට ප්‍රදීප දානයක් බුදුරජාණන් වහන්සේ දුනිමි. (පහන් පූජාවක් කෙළෙමි.) කර්‍ම ඵල අදහසින් පහන් (දැල්වීමි.) කෙළෙමි.
52. “මම දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (එවිට ඒ පුණ්‍ය කර්‍ම හේතුවෙන්) අහසෙහි දඬුවැටපහන්(පන්දම්) දරත්. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.
53. “පර්‍වතද ඉක්මවා බිත්තියෙන් (තාප්පයෙන්) පිටද, ගල් තලාවකින් පිටතද ඇති හාත්පස යොදුන් සියයක් තැනවූ සියල්ල දර්‍ශනය කරමි. (බලමි.)
55. “තුන්දහස් සිව්වන කපෙහි “සතචක්ඛු” යන නමාන නම් ඇති මහා තේජස් ඇති මහත් බල ඇති රජවරු වූහ.
54. “එම කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි. සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)
56. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචදීපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
පඤ්චදීපකත්ථෙරස්සාපදානං සත්තමං.
58. ධජදායක ථේරාපදානය
57. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ උතුම් බෝරුකෙහි සතුටුවූයේ, සතුටු සිතින්ම ධජයක් නැගීමි.
58. “(බෝධියෙන්) වැටුණු කොළ ගෙන පිටතට බැහැර කරවීමි. ඇතුළත පිරිසිදු පිටතද පිරිසිදු විශේෂයෙන් (කෙළෙසුන්ගෙන්) මිදුණු ආශ්‍රව රහිතවූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි මෙන් උතුම් බෝධිය වැන්දෙමි.
59. “පූජාවන් පිළිගන්නාවූ නොහොත් ලෝවැස්සනගේ පූජාවනට ගෙයක් වැනිවූ ශාස්තෘවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ භික්‍ෂු සංඝයා මැද වැඩහිඳ මේ ගාථා වදාළ සේක.