53. සයනදායක ථේරාපදානය
20. “සියලු ලෝ වැසියනට අනුකම්පා කරණ සුළුවූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පැහැදි සිතින් සයනයක් පිදීමි.
21. “එම සයන දානය කරණ කොට ගෙන, මැනවින් සරු කෙතක හටගත් සශ්ය සම්පත් මෙන් ඕහට භෝගයෝ උපදිත්. සයන දානයාගේ මේ විපාකයයි.
22. “අහසෙහි සයනය කරමි. මෙම පෘථිවිය (ඊශ්වරත්වයෙන්) දරමි. සත්ත්වයන් විෂයයෙහි මාගේ අධිපතිත්වය පවතී. සයන දානයාගේ මේ විපාකයයි.
23. “පන් දහස්වන කපෙහි මහාවීර නම්න් අටරජ කෙනෙක් වුහ. තුන් දහස් සිව් වන කපෙහි මහත් බල ඇති රජවරු සිව් දෙනෙක් වූහ.
24. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් සයනදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
සයනදායකත්ථෙරස්සාපදානං තතියං.
54. ගන්ධොදකිය ථේරාපදානය
25. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි මහ නම් මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
26. “බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්දද විය.
27. “එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කළුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.
28. “සර්වඥ තෙම ආශ්චර්ය්යයකි. ධර්මය ආශ්චර්ය්යයකි. අපගේ සාස්තෲ සම්පත්තිය ආශ්චර්ය්යයකි. මාගේ සිරුර (හෙන පහරින්) ඇදවැටුනි. (ඉන් චුතවූ) මම දෙව්ලොව සිත් අලවා වසමි.”
29. “පැන නැගුනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගුනේය. හැම කල්හි සියක් දහසක් කන්යාවෝ මා පිරිවරත්.
30. “මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් (තැවීමක්) නොදකිමි. පුණ්ය කර්මයාගේ මේ විපාකයයි.
31. “දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නම් සක්විති රජෙක් වීමි.
32. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධොදකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ගන්ධොදකියත්ථෙරස්සාපදානං චතුත්ථං.
55. ඔපවූය්හ ථේරාපදානය
33. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආජානීය අශ්වයෙක් දුනිමි. බුදුරජාණන් වහන්සේට (එම අශ්වයා) භාරකොට දී ස්වකීය ගෘහයට ගියෙමි.
34. “උතුම් ධර්මයට දායාදීවූ (පදුමුත්තර) ශාස්තෘන් වහන්සේගේ නම්න් දෙවල නම්වූ අග්රශ්රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය.