54. ගන්ධොදකිය ථේරාපදානය
25. “පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ මහාබෝධි මහ නම් මහබෝ පූජාවක් විය. විසිතුරු කළයක් ගෙන මම එහි සුවඳ පැන් වත්කෙළෙමි.
26. “බෝධිය නාවන කල්හි මහ වැසි වැස්සේය. හෙන පුපුරණ කල්හි මහත් ශබ්දද විය.
27. “එම අසනි වේගයෙන් (හෙන පහරින්) එහිම කළුරිය කෙළෙමි. (මම එකෙණෙහි) දෙව්ලොව උපන්නේ මෙම ගාථාවන් කීමි.
28. “සර්වඥ තෙම ආශ්චර්ය්යයකි. ධර්මය ආශ්චර්ය්යයකි. අපගේ සාස්තෲ සම්පත්තිය ආශ්චර්ය්යයකි. මාගේ සිරුර (හෙන පහරින්) ඇදවැටුනි. (ඉන් චුතවූ) මම දෙව්ලොව සිත් අලවා වසමි.”
29. “පැන නැගුනාවූ මාගේ සත්බුමු විමන උස්ව නැගුනේය. හැම කල්හි සියක් දහසක් කන්යාවෝ මා පිරිවරත්.
30. “මට ආබාධයෝ නොවෙත්. මට ශෝකයත් නැත. පරිළාහයන් (තැවීමක්) නොදකිමි. පුණ්ය කර්මයාගේ මේ විපාකයයි.
31. “දෙදහස් අසූවන කපෙහි සත්රුවනින් යුක්තවූ මහත් බල ඇති සංවසිත නම් සක්විති රජෙක් වීමි.
32. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්ධොදකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ගන්ධොදකියත්ථෙරස්සාපදානං චතුත්ථං.
55. ඔපවූය්හ ථේරාපදානය
33. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ආජානීය අශ්වයෙක් දුනිමි. බුදුරජාණන් වහන්සේට (එම අශ්වයා) භාරකොට දී ස්වකීය ගෘහයට ගියෙමි.
34. “උතුම් ධර්මයට දායාදීවූ (පදුමුත්තර) ශාස්තෘන් වහන්සේගේ නම්න් දෙවල නම්වූ අග්රශ්රාවක තෙමේ මාගේ සමීපයට පැමිණියේය.
35. “භාග්යවත් තෙමේ සපත්තභාරය. (හෙවත් පාත්රය සහිත අටපිරිකර බර උසුලන්නේය.) උන්වහන්සේට ආජානීය අශ්ව තෙමේ කැප නොවේ. පසැස් ඇත්තාවූ බුදුරජ තෙම ඔබගේ අදහස දැන (එය) පිළිගත් සේක.
36. “ඉක්බිති මම වාතවේගය ඇති, ශීඝ්රව ගමන් යන වාහනයක්වූ සෛන්ධවයා මිළකොට (විකුණා) පදුමුත්තර බුදුරජාණන් වහන්සේට රිසිවූ (යෝග්ය පිරිකරක්) දුනිමි.
37. “දෙව්ලොව හෝ මිනිස්ලොව යම් යම් භවයක උපදිම් නම් මට රිසිවූ වාත වේගය ඇති චිත්තයෝ උපදිත්.
38. “යමෙක් උපසම්පදාව ලබත්ද, (ඔවුනට) එය ලාභයකි. මනා ලාභයකි. ඉදින් බුදු කෙනෙක් ලෙව්හි (පහළ) වන්නේ නම් නැවත පයිරුපාසනය කරන්නෙමි.
39. “මම අටවිසි වරක් මහත් බල ඇති සතර මහා දිවයින් හා සිව්මහ සයුර කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ සතුරු රජුන් ජයගන්නා සුළුවූ ජම්බුසණ්ඩයට අධිපතිවූ සක්විති රජ වීමි.
40. “මේ මාගේ පශ්චිම උත්පත්තියයි. අන්තිම ආත්ම භාවයයි. ජය-පරාජය දෙකම හැර නිශ්චල ස්ථානය (නිවණට) පැමිණියේ වෙමි.
41. “සූතිස් දහස්වන කපෙහි මහත් බල ඇති සත් රුවණින් යුත්, මහත් තේජස් ඇති සක්විති රජෙක් වීමි.
42. “මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.
මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඔපවූය්හ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.”
ඔපවය්හත්ථෙරස්සාපදානං පඤ්චමං.
56. සපරිවාරාසන ථේරාපදානය
43. “මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පිණ්ඩපාත දානයක් දුනිමි. ගොස් වළඳන ස්ථානය බෝලිද්ද මල්වලින් වට කෙළෙමි. (සැරසීමි.)
44. “ලෝකයෙහි අග්ර නායකවූ වැඩහුන්නේ ඎජු ගුණ ඇති, සන්සුන්වූ බුදුරජ තෙම එම අසුනෙහි වැඩහුන්නේ එම පිණ්ඩපාතය (පිළිබඳ තොරතුරු) ප්රකාශ කෙළේය.
45. “යම් සේ මනා කෙතෙක රෝපනය කරණ ලද ස්වල්පවූද බීජය මැනවින් වැසි වස්නා කල්හි (ඇතිවන සශ්ය) ඵල ගොවියා සතුටු කරයි.
46. “එසේම පිණ්ඩපාතය තා විසින් මනා කෙතෙක රෝපනය කරණ ලදී. භවයෙහි උපදින්නාවූ හේ (එම කර්මයාගේ) ඵල වශයෙන් සතුටු වන්නේය.”
47. “පදුමුත්තර නම්වූ බුදුරජතෙම මෙය වදාරා පිණ්ඩපාතයට පසසා උතුරු දෙසට මුහුණ ලා වැඩි සේක.