558. භද්දජි තෙරුන්ගේ අපදානය
නානාප්‍රකාර ඇතුන්ගෙන් සේවිත වූ යම් විලකට බැස, ආහාර පිණිස මම එකල්හි නෙළුම් දඬු ගලවමි.
එකල්හි පදුමුත්තර නම් වූ භාග්‍යවතුන් වහන්සේ, රතු වස්ත්‍ර දරන බුදුරජාණන් වහන්සේ අහසින් වැඩි සේක.
පාංශුකූල සිවුරු ගසන (හඬ) එකල්හි මම ඇසුවෙමි. උඩ බලන මම ලෝකනායකයන් වහන්සේ දුටුවෙමි.
එහිම සිටගෙන මම ලෝකනායකයන් වහන්සේගෙන් ඉල්ලා සිටියෙමි. “පැණි සහ නෙළුම් දඬු (භිස) ද, කිරි සහ ගිතෙල් ද, නෙළුම් අල ද යන මේවා, චක්ෂුෂ්මත් වූ බුදුරජාණන් වහන්සේ මට අනුකම්පා පිණිස පිළිගන්නා සේක්වා!”
ඉක්බිති කාරුණික වූ ශාස්තෘන් වහන්සේ, මහත් යසස් ඇත්තා වූ ඒ බුදුරජාණන් වහන්සේ පහළට බැස, අනුකම්පා පිණිස මාගේ භික්ෂාව පිළිගත් සේක. පිළිගෙන සම්බුදුරජාණන් වහන්සේ මට අනුමෝදනාව කළ සේක.
“මහා පින් ඇත්ත, සුවපත් වේවා! තාගේ අදහස සමෘද්ධ වේවා! මේ නෙළුම් දඬු දානයෙන් විපුල වූ සැප ලබව!”
මෙසේ වදාරා, ජලජුත්තම (පදුමුත්තර) නම් වූ සම්බුදුරජාණන් වහන්සේ භික්ෂාව ගෙන ජින නම් වූ බුදුරජාණන් වහන්සේ අහසින් වැඩම කළ සේක.
ඉන්පසු (ඉතිරි) නෙළුම් දඬු ගෙන මාගේ අසපුවට පැමිණියෙමි. නෙළුම් දඬු (භිස) ගසක රඳවා මාගේ දානය සිහි කළෙමි.
මහා වාතයක් හටගෙන එකල්හි වනය සෙලවීය. අහස ගිගුරුවේය. එකල්හි අකුණු පහරක් ද පතිත විය.
එකල්හි අකුණු පහර මාගේ හිස මත පතිත විය. එහි හිඳගෙන සිටි මම එකල්හි කාලක්‍රියා කළෙමි.
පුණ්‍ය කර්මය හා එක්ව තුසිත දෙව්ලොව උපන්නෙමි. මාගේ සිරුර (එහි) පතිත විය. මම දෙව්ලොව සතුටු වෙමි.
අසූසයදහසක් මනාව අලංකාර වූ ස්ත්‍රීහු උදේ සවස උපස්ථාන කරති. මෙය නෙළුම් දඬු දානයෙහි ඵලයයි.
මනුෂ්‍ය යෝනියට පැමිණ එකල්හි සුවපත් වූවෙක් වෙමි. මට භෝගයන්ගේ අඩුවක් නැත. මෙය නෙළුම් දඬු දානයෙහි ඵලයයි.
ඒ තාදී ගුණ ඇති දෙවිදෙව් වූ බුදුරදුන් විසින් අනුකම්පා කරන ලද්දේ, සියලු ආශ්‍රවයෝ ක්ෂය වූහ. දැන් පුනර්භවයක් නැත.
මෙයින් කල්ප ලක්ෂයකට පෙර යම් නෙළුම් දඬු දානයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ නෙළුම් දඬු දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ... ආශ්‍රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් භද්දජි තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
අටවන භද්දජි තෙරුන්ගේ අපදානයයි.
559. සීවක තෙරුන්ගේ අපදානය
(ආහාර) සොයා හැසිරෙන විපස්සී බුදුරජාණන් වහන්සේගේ හිස් පාත්‍රය දැක, මම එය කුම්මාස (මුං හෝ මෑ පිටි ආහාර) වලින් පිරවූයෙමි.
මෙයින් අනූඑක්වන කල්පයෙහි යම් භික්ෂාවක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ කුම්මාස දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්‍රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් සීවක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
නවවන සීවක තෙරුන්ගේ අපදානයයි.
එහි උද්දානය:
යස ද, නදීකස්සප ද, ගයාකස්සප ද, කිම්බිල ද, වජ්ජිපුත්ත ද, උත්තර ද්වය ද (උත්තර හා අපර උත්තර), භද්දජි ද, සීවක නම් උත්තමයා ද (වෙත්).
පනස්හයවන යස වර්ගයයි.
ථෙරාපදානය සමාප්තයි.
(රට්ඨපාල සහ උපවාන තෙරුන්ගේ අපදානයන් ‘මඡසං’ පොතෙහි යස වර්ගයට ඇතුළත් වී ඇති බව පෙනේ, එසේ වුවද අපදාන පාළි පළමු කොටසේ දෙවන හා තුන්වන වර්ගයන්හි ඔවුන්ගේ අපදාන පැමිණ ඇති බැවින් මෙහි නොදක්වන ලද බව දත යුතුය.)