556. උත්තර තෙරුන්ගේ අපදානය
6385. දෙතිස් මහාපුරුෂ ලක්ෂණයෙන් යුත් සුමේධ නම් සම්බුදුරජාණන් වහන්සේ, විවේකය කැමති වූ ඒ භාග්‍යවතුන් වහන්සේ හිමවතට වැඩම කළ සේක.
6386. අග්‍ර වූ, කාරුණික වූ, පුරුෂෝත්තම වූ මුනිඳුන් වහන්සේ හිමවතට පිවිස පළඟ බැඳගෙන වැඩහුන් සේක.
6387. එකල්හි මම අහසින් යන විද්‍යාධරයෙක් වීමි. එකල්හි මැනවින් තැනූ ත්‍රිශූලයක් ගෙන අහසින් යමි.
6388. පර්වත මුදුනෙහි ගින්නක් මෙන් ද, පුර පසළොස්වක සඳ මෙන් ද, මල් පිපුණු සල්රුක් රජෙකු මෙන් ද බුදුරජාණන් වහන්සේ වනය බබළවයි.
6389. වනයෙන් නික්ම බුදුරැස් විහිදෙයි. බට ගින්නක පැහැයට සමාන වූ (ඒ රැස්) දැක සිත පහදවා ගතිමි.
6390. (මල්) සොයන්නේ දිව්‍යමය සුවඳ ඇති කණිකාර (කිණිහිරි) මලක් දැක, මල් තුනක් ගෙන බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට පූජා කළෙමි.
6391. බුද්ධානුභාවයෙන් එකල්හි මාගේ මල් තුන, නැට්ට උඩට ද පෙති යටට ද පිහිටා ශාස්තෘන් වහන්සේට සෙවන කරයි.
6392. මැනවින් කළ ඒ කර්මයෙන් ද, චේතනාවෙන් හා ප්‍රාර්ථනාවෙන් ද මිනිස් කය හැර දමා තව්තිසා දෙව්ලොවට ගියෙමි.
6393. එහි මට මැනවින් තැනූ විමානයක් වෙයි. එය 'කණිකාර' යැයි ප්‍රකටය. එය උසින් යොදුන් හැටක් ද පළලින් යොදුන් තිහක් ද වෙයි.
6394. (එය) දහසක් කොටස් ද සියයක් කොත් ද ඇත්තේ, කොඩි බහුල වූ, රන්මුවා වූ (විමානයකි). මාගේ විමානයෙහි සියදහසක් දොරටු පහළ විය.
6395. (එහි) කැමති තැනක කැමති පරිදි රන්මුවා වූ ද, මැණික්මුවා වූ ද, පියුම්රාග (ලොහිතඞ්ක) මැණික්මුවා වූ ද, පළිඟුමුවා වූ ද පර්යංකයෝ වෙති.
6396. පුළුන් මෙට්ට හා ඇතිරිලි (විකතී) යෙදූ, උඩට ලොම් ඇති ඇතිරිලි හා එක් පසෙක ලොම් ඇති ඇතිරිලි සහිත වූ, කොට්ට සහිත වූ මහත් වටිනා සයනයක් ද ඇත.
6397. භවනයෙන් නික්ම දේව චාරිකාවෙහි හැසිරෙන්නේ, යම් විටෙක ගමනක් කැමති වෙම් ද, දෙව් පිරිස විසින් පෙරටු කරන ලදුව —
6398. මම මල් යට සිටිමි. මට ඉහළින් (මල්) වියනක් වෙයි. හාත්පස යොදුන් සියයක් කණිකාර මල්වලින් වැසී ඇත.
6399. හැටදහසක් තූර්යවාදකයෝ උදේ සවස උපස්ථාන කළහ. රෑ දවල් දෙකෙහි නොකම්මැලිව ඔවුහු නිතර මා පිරිවරති.
6400. එහි නැටුම්වලින් ද, ගැයුම්වලින් ද, තාලයන්ගෙන් හා වාදනයන්ගෙන් ද ක්‍රීඩා රතියෙන් රමණය කරමි. කැමති කාමයන් ඇතිව සතුටු වෙමි.
6401. එහි තව්තිසා පුරයෙහි කමින් බොමින් සතුටු වෙමි. ස්ත්‍රී සමූහයා සමඟ උතුම් විමානයෙහි සතුටු වෙමි.
6402. පන්සිය වාරයක් දෙව්රජකම් කළෙමි. තුන්සිය වාරයක් සක්විති රජ වූයෙමි. මහත් වූ ප්‍රදේශ රාජ්‍යය ගණනින් අසංඛ්‍යයකි.