555. වජ්ජිපුත්ත තෙරුන්ගේ අපදානය
දහසක් රැස් ඇති, ස්වයම්භූ වූ, අපරාජිත වූ භාග්යවතුන් වහන්සේ විවේකයෙන් නැඟී සිට, පිඬු සිඟා වැඩම කළ සේක.
පලතුරු අතැතිව සිටි මම නර ශ්රේෂ්ඨයන් වහන්සේ දැක, උන්වහන්සේ වෙත එළඹ, පහන් සිතින් සුමන වූයේ නැට්ට සහිත ඵලයක් පූජා කළෙමි.
මෙයින් අනූහතරවන කල්පයෙහි යම් ඵලයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඵල දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ... ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පස්වන වජ්ජිපුත්ත තෙරුන්ගේ අපදානයයි.
556. උත්තර තෙරුන්ගේ අපදානය
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් සුමෙධ නම් සම්බුදුරජාණන් වහන්සේ, විවේකය කැමති වූ ඒ භාග්යවතුන් වහන්සේ හිමාලයට වැඩම කළ සේක.
අග්ර වූ කාරුණික මුනිඳුන් හිමාලයට පිවිස, පර්යංකය බැඳගෙන, ඒ පුරුෂෝත්තමයන් වහන්සේ වැඩහුන් සේක.
එකල්හි මම අහසින් යන විද්යාධරයෙක් වීමි. එකල්හි ත්රිශූලයක් මනාව ගෙන අහසින් යමි.
පර්වත මුදුනෙහි ගින්නක් මෙන් ද, පුර පසළොස්වක චන්ද්රයා මෙන් ද, මල් පිපුණු සල් රජෙකු මෙන් ද බුදුරජාණන් වහන්සේ වනය බබළවයි.
වන අගින් නික්ම බුදුරැස් විහිදෙයි. බටදඬු ගිනිසිළු වර්ණයට සමාන වූ (ඒ රැස්) දැක සිත පහදවා ගතිමි.
(මල්) සොයන්නේ දිව්යමය සුවඳ ඇති කණිකාර (කිණිහිරි) මලක් දැක, මල් තුනක් ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට පූජා කළෙමි.
බුද්ධානුභාවයෙන් එකල්හි මාගේ මල් තුන, නැට්ට උඩට ද පෙති යටට ද පිහිටා ශාස්තෘන් වහන්සේට සෙවන කරයි.
ඒ සුකෘත කර්මයෙන් ද චේතනා ප්රණිධියෙන් ද, මිනිස් කය හැර දමා තව්තිසාවට ගියෙමි.
එහි මාගේ යහපත් වූ විමානය 'කණිකාර' යැයි ප්රකට විය. එය උසින් යොදුන් සැටක් ද පළලින් යොදුන් තිහක් ද විය.
දෙව් විමනෙහි දහසක් කාමර ද, සියයක් කොත් ද, කොඩි වැල් ද, රන්වන් වූ සියගණන් දොරටු ද පහළ විය.
කැමති කැමති අයුරින් රන්මුවා වූ ද, මැණික්මුවා වූ ද, ලොහිතංක මැණික්මුවා වූ ද, පළිඟුමුවා වූ ද පර්යංකයෝ (පහළ වෙති).
මහාර්ඝ වූ සයනය ද, මෙට්ට ඇතිරිලි සහිත වූ, එක්පසෙක ලොම් ඇති, රතු කොට්ට සහිත (සයනයන් පහළ විය).
භවනයෙන් පිටතට පැමිණ දේව චාරිකාවෙහි හැසිරෙන විට, යම් විටෙක ගමනක් කැමති වෙම් ද, (එවිට) දෙව් පිරිස පිරිවරා යමි.
මම මලට යටින් සිටිමි. මට ඉහළින් වියනක් වෙයි. හාත්පස යොදුන් සියයක් තැන කණිකාර මල්වලින් සෙවන කරන ලදී.
සැටදහසක් තූර්යවාදකයෝ උදේ සවස උපස්ථාන කරති. රෑ දවල් දෙක්හි නොකම්මැලිව ඔවුහු මා පිරිවරා සිටිති.
එහි නැටුම්වලින් ද, ගැයුම්වලින් ද, තාලයන්ගෙන් හා වාදනයන්ගෙන් ද ක්රීඩා රතියෙන් රමණය කරමි. කැමති කාමයන් ඇතිව සතුටු වෙමි.
එහි තව්තිසා පුරයෙහි කමින් බොමින් සතුටු වෙමි. නාරි ගණයන්ගෙන් සහිතව උතුම් විමානයෙහි සතුටු වෙමි.
පන්සිය වාරයක් දේවේන්ද්ර රාජ්යය කරවූයෙමි. තුන්සිය වාරයක් සක්විති රජ වූයෙමි. ගණන් කළ නොහැකි තරම් ප්රදේශ රාජ්යය (ලැබුවෙමි).