554. කිම්බිල තෙරුන්ගේ අපදානය
කකුසඳ බුදුරදුන් පිරිනිවන් පෑ කල්හි, වසී ගුණ ඇති ඒ බ්රාහ්මණයා (බුදුරදුන්) විෂයෙහි, සලල මල් ගෙන මම මණ්ඩපයක් කරවූයෙමි.
තව්තිසාවට ගියෙමි. උතුම් විමානයක් ලැබුවෙමි. අන් දෙවියන්ට වඩා බබළමි. මෙය පුණ්ය කර්මයේ ඵලයයි.
දවාලෙහි හෝ රාත්රියෙහි හෝ සක්මන් කරන්නා වූ ද සිටින්නා වූ ද මා හට සලල මල්වලින් සෙවනැල්ලක් වේ. මෙය පුණ්ය කර්මයේ ඵලයයි.
මේ කල්පයෙහිම යම් බුද්ධ පූජාවක් කළෙම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ මුලිනුපුටා දමන ලදහ. ඇතුකු මෙන් බැඳීම් සිඳ දමා ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය. ත්රිවිද්යාවෝ ලබන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද, අෂ්ට විමෝක්ෂයෝ ද, ෂඩ් අභිඥාවෝ ද සාක්ෂාත් කරන ලදහ. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
සිව්වන කිම්බිල තෙරුන්ගේ අපදානයයි.
555. වජ්ජිපුත්ත තෙරුන්ගේ අපදානය
දහසක් රැස් ඇති, ස්වයම්භූ වූ, අපරාජිත වූ භාග්යවතුන් වහන්සේ විවේකයෙන් නැඟී සිට, පිඬු සිඟා වැඩම කළ සේක.
පලතුරු අතැතිව සිටි මම නර ශ්රේෂ්ඨයන් වහන්සේ දැක, උන්වහන්සේ වෙත එළඹ, පහන් සිතින් සුමන වූයේ නැට්ට සහිත ඵලයක් පූජා කළෙමි.
මෙයින් අනූහතරවන කල්පයෙහි යම් ඵලයක් දුනිම් ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ ඵල දානයෙහි ඵලයයි.
මාගේ ක්ලේශයෝ දවන ලදහ... ආශ්රව රහිතව වාසය කරමි.
බුදුරජාණන් වහන්සේ සමීපයට මාගේ පැමිණීම ඒකාන්තයෙන් යහපත් විය... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
සිව්පිළිසිඹියාවෝ ද... බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.
මෙසේ ආයුෂ්මත් වජ්ජිපුත්ත තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.
පස්වන වජ්ජිපුත්ත තෙරුන්ගේ අපදානයයි.
556. උත්තර තෙරුන්ගේ අපදානය
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුත් සුමෙධ නම් සම්බුදුරජාණන් වහන්සේ, විවේකය කැමති වූ ඒ භාග්යවතුන් වහන්සේ හිමාලයට වැඩම කළ සේක.
අග්ර වූ කාරුණික මුනිඳුන් හිමාලයට පිවිස, පර්යංකය බැඳගෙන, ඒ පුරුෂෝත්තමයන් වහන්සේ වැඩහුන් සේක.
එකල්හි මම අහසින් යන විද්යාධරයෙක් වීමි. එකල්හි ත්රිශූලයක් මනාව ගෙන අහසින් යමි.
පර්වත මුදුනෙහි ගින්නක් මෙන් ද, පුර පසළොස්වක චන්ද්රයා මෙන් ද, මල් පිපුණු සල් රජෙකු මෙන් ද බුදුරජාණන් වහන්සේ වනය බබළවයි.
වන අගින් නික්ම බුදුරැස් විහිදෙයි. බටදඬු ගිනිසිළු වර්ණයට සමාන වූ (ඒ රැස්) දැක සිත පහදවා ගතිමි.
(මල්) සොයන්නේ දිව්යමය සුවඳ ඇති කණිකාර (කිණිහිරි) මලක් දැක, මල් තුනක් ගෙන බුද්ධ ශ්රේෂ්ඨයන් වහන්සේට පූජා කළෙමි.